Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 අගෝස්තු මාසයේ දී පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජූලි මාසයේ පැවති සියයට 4.2හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 4.1 දක්වා පහළ ගියේය. 2019 අගෝස්තු මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජූලි මාසයේ පැවති සියයට 10.9හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 12.3 දක්වා ඉහළ ගියේය. එසේ වුවද, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජූලි මාසයේ පැවති සියයට 1.5හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 0.8 දක්වා පහළ ගියේය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි දර්ශකයෙහි වෙනස, 2020 අගෝස්තු මාසයේ දී සියයට 4.8ක් ලෙස නොවෙනස්ව පැවතුණි.

ඉඩම් තක්සේරු දර්ශකය - 2020 වසරේ පළමු භාගය

කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2020 වසරේ පළමු භාගයේ දී 141.6 ක අගයක් වාර්තා කරන ලද අතර, එහි වාර්ෂික වර්ධනය සියයට 7.1 ක් විය. මේ අතර, අර්ධ වාර්ෂික පදනම මත ඉඩම් තක්සේරු දර්ශකයෙහි වර්ධනය සියයට 2.0 ක් විය. පසුගිය කාල පරිඡේදයන්හි දී ඉඩම් තක්සේරු දර්ශකයෙහි වාර්ෂික සහ අර්ධ වාර්ෂික වර්ධනයන් පහළ යාමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන ලදී.

ඉඩම් තක්සේරු දර්ශකයෙහි වර්ධනය සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන ඉඩම් තක්සේරු අනු දර්ශක තුනෙහිම ඉහළ යාම හේතු විය. වැඩිම වාර්ෂික වර්ධනය වන සියයට 7.2 ක අගය කාර්මික ඉඩම් තක්සේරු අනු දර්ශකය මගින් වාර්තා වූ අතර, නේවාසික සහ වාණිජ ඉඩම් තක්සේරු අනු දර්ශකයන්හි වර්ධනයන් සියයට 7.1 ක් විය.

ශ්‍රී ලංකා මහ බැංකුව 4% කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයේ ඉල්ලුම්පත් භාරගැනීමේ අවසාන දිනය 2020 සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කරයි

2020 අගෝස්තු 19 වන දින පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී 4% කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයේ කාලසීමාව දීර්ඝ කිරීමට මුදල් මණ්ඩලය තීරණය කළේය. ඒ අනුව, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයින්ට සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම යටතේ සිය ණය අයදුම්පත් 2020 සැප්තැම්බර් 30 දක්වා අදාළ බලපත්‍රලාභී බැංකුවලට ඉදිරිපත් කළ හැකිය.

ජා.පා.මි.ද. මත පදනම් වූ උද්ධමනය 2020 ජූලි මාසයේ දී පහළ යන ලදී

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජුනි මාසයේ පැවති සියයට 6.3හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 6.1 දක්වා පහළ ගියේය. 2019 ජූලි මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. මේ අතර, 2020 ජුනි මාසයේ දී සියයට 13.6හි පැවති ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය, 2020 ජූලි මාසයේ දී සියයට 12.9 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජුනි මාසයේ පැවති සියයට 0.8හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 1.0 දක්වා ඉහළ ගියේය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි දර්ශකයෙහි වෙනස, 2020 ජුනි මාසයේ පැවති සියයට 5.6හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 5.9 දක්වා ඉහළ ගියේය.

ශ්‍රි ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව පිහිටුවීම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 1949 අංක 58 දරණ මූල්‍ය නීති පනතේ, සංශෝධිත, 33 වන වගන්තියේ විධිවිධාන යටතේ නියාමනය කරනු ලබන ආයතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කරනු ලබන සියලුම පැමිණිලි, දුක්ගැනවිලි හා විමසීම් පිලිබදව සේවය සැපයීම සඳහා සම්බන්ධ කර ගත හැකි මධ්‍යස්ථානය ලෙස “මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව” නමින් නව දෙපාර්තමේන්තුවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020.08.10 දින සිට ස්ථාපනය කරන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වා ගනී

ශ්‍රී  ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 අගෝස්තු 19 වැනි දින පැවති රැස්වීමේ දී, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ක්  ලෙස දැනට  පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. විශේෂයෙන් මෙතෙක් ක්‍රියාත්මක කර ඇති ලිහිල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල සම්පූර්ණ බලපෑම වෙළඳපොළ ණය අනුපාතික මගින් තවමත් පිළිබිඹු නොවන හෙයින් ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මුදල් මණ්ඩලය විසින් සලකා බලන ලදී. ආන්තික ණය ලබාගන්නන්හට සහාය වීම සඳහා ඉහළ අගයක පවතින ඇතැම් පොලී අනුපාතික අඩු කිරීමට අවශ්‍ය ඉලක්කගත ක්‍රියාමාර්ග ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේය. අඩු උද්ධමනයක් පවතින වාතාවරණයක් යටතේ වෙළඳපොළ ණය අනුපාතික තවදුරටත් පහළ යනු ඇතැයි මුදල් මණ්ඩලය අපේක්ෂා කරන අතර එමගින් ආර්ථිකයේ ඵලදායී අංශ වෙත ණය ලබාදීම කඩිනම් කිරීම සහ කොවිඩ්-19 මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර සඳහා මෙන්ම පුළුල් ආර්ථිකයට වන සහාය වඩාත් ශක්තිමත් කෙරෙනු ඇත.

Pages