Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2020 ජූලි

රටේ ආර්ථික ක්‍රියාකාරකම් යථාවත් වීම හේතුකොටගෙන, 2020 ජුනි මාසයට සාපේක්ෂව 2020 ජූලි මාසයේ දී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක තව දුරටත් වර්ධනය විය.

ව්‍යාපාර කටයුතු යථාවත් වීමත් සමඟ නිෂ්පාදන ක්‍රියාකාරකම් ක්‍රමයෙන් පූර්ව COVID මට්ටම් කරා ළඟා වෙමින් පවතින බව පිළිබිඹු කරමින් නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2020 ජූලි මාසයේදී 64.6ක අගයක් වාර්තා කරමින් අඛණ්ඩව ඉහළ යන ලදී. නිෂ්පාදනය සහ නව ඇණවුම් උපදර්ශක වල සිදුවු ඉහළ යාම නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතු විය.

සේවා අංශයෙහි වර්ධනයක් අඛණ්ඩව දෙවන මාසයටත් පෙන්නුම් කරමින්, ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2020 ජූලි මාසයේ දී 51.4ක් දක්වා ඉහළ යන ලදී. 2020 ජුනි මාසයට සාපේක්ෂව නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්හි සිදු වූ ඉහළ යෑම මෙම වර්ධනය සඳහා දායක වූ අතර, එමගින් COVID-19 වසංගතය හේතුවෙන් පසුබෑමකට ලක් වූ සේවා අංශය තවදුරටත් යථා තත්ත්වයට පත්වීමක් පෙන්නුම් කෙරේ.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2020 ජූනි

දේශීය ආර්ථික ක්‍රියාකාරකම් ක්‍රමයෙන් සාමාන්‍ය වීමත් සමඟ, ශ්‍රී ලංකාවේ විදේශීය අංශය 2020 වසරේ ජූනි මාසයේ දී තවදුරටත් ස්ථාවර විය. භාණ්ඩ අපනයන නැවත යථා තත්ත්වයට පත් වීම අපේක්ෂිත මට්ටම ඉක්මවා සිදු වීම සහ අත්‍යවශ්‍ය නොවන ආනයන සඳහා පනවා ඇති සීමාවන් හේතුවෙන් භාණ්ඩ ආනයනය සැලකිය යුතු ලෙස අඩු වීමත් සමඟ, පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව 2020 වසරේ ජූනි මාසයේ දී වෙළඳ හිඟය අඩු විය. කොවිඩ්-19 වසංගතය ව්‍යාප්ත වීමෙන් පසු ප්‍රථම වතාවට විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ජූනි මාසයේ දී වර්ධනයක් වාර්තා කළේය. මෙම මාසය තුළ, රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ සහ කොළඹ කොටස් වෙළඳපොළ වෙතින් ගෙවීම් වාර්තා විය. වෙළඳ හිඟය අඩු වීම හේතුවෙන් ශ්‍රී ලංකා රුපියල 2020 වසරේ ජූනි මාසයේ දී සුළු අතිප්‍රමාණය වීමක් වාර්තා කළේය.

‍කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 ජූලි මාසයේ දී ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (2013=100)  ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජුනි මාසයේ පැවති සියයට 3.9හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 4.2 දක්වා ඉහළ ගියේය. ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් සහ 2019 ජූලි මාසයේ පැවති පහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් දායක විය. ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජුනි මාසයේ පැවති සියයට 10.0හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 10.9 දක්වා ඉහළ ගියේ ය. තව ද, ආහාර නො වන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය ද 2020 ජුනි මාසයේ පැවති සියයට 1.4හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 1.5 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය.

මහ බැංකුවේ සාර්ව ආර්ථික පුරෝකථන පිළිබඳ ව ප‍ළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා මහ බැංකුව ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද බවට ඇතැම් මාධ්‍යන්හි පළ වී ඇති සාර්ව ආර්ථික පුරෝකථන පිළිබඳ සාවද්‍ය වාර්තා වෙත මහ බැංකුවේ අවධානය යොමු වී ඇත.  

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව 2020 අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරු ව එහි සාර්ව ආර්ථික පුරෝකථන සඳහා කිසිදු යාවත්කාලීන කිරීමක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත නිකුත් කර නොමැත. කොවිඩ්-19 වසංගතය මගින් නිර්මාණය කර ඇති තත්ත්වයන් යටතේ සාර්ව ආර්ථික පුරෝකථන සඳහා නිරන්තර යාවත්කාලීන කිරීම් අවශ්‍ය වන අතර, එම නිසා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳ සම්මත දර්ශක ලැබෙන අයුරින් අඛණ්ඩ ව නිරීක්ෂණය කරමින් සිටී. එසේ ම, තත්කාලීන ව ලබා ගත හැකි සාම්ප්‍රදායික නො වන දර්ශක ද ශ්‍රී ලංකා මහ බැංකුව එහි විශ්ලේෂණ සහ ප්‍රතිපත්ති මාර්ගෝපදේශන සඳහා යොදා ගනිමින් සිටී. 

ශ්‍රි ලංකා මහ බැංකුව ඉන්දියානු සංචිත බැංකුව සමඟ මුදල් හුවමාරු ගිවිසුමකට එළඹේ

දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ (SAARC) රටවල් වෙත 2019-2022 කාලය සඳහා පිරිනමනු ලබන මුදල් හුවමාරු පහසුකම් රාමුව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව,  ඉන්දියානු සංචිත බැංකුව සමග මුදල් හුවමාරු ගිවිසුමකට 2020 ජූලි මස 24 වන දින එළඹිණි. මෙමගින් රටේ කෙටිකාලීන ගෙවුම් ශේෂ අවශ්‍යතාවන් මූල්‍යනය කරගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට පහසුකමක් සැලසේ.

ශ්‍රී ලංකා මහ බැංකුව මෙම  මුදල් හුවමාරු පහසුකම සඳහා එළඹීමෙහි අරමුණ වූයේ ස්ථාවර විදේශ විනිමය සංචිත තත්ත්වයක්  සුරක්ෂිත කර ගනිමින්,  ප්‍රමාණවත් කෙටිකාලීන විදේශ විනිමය ද්‍රවශීලතාවයක් පවත්වා ගැනීමයි. ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින අභියෝගාත්මක බාහිර ආර් ථික පරිසරයට ප්‍රධානම හේතුව වනුයේ කොවිඩ් - 19 වසංගත තත්වයයි. 

ඇමෙරිකාවේ නිව්යෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුව සමඟ යෝජිත ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුම පිළිබඳ ව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්

අවශ්‍ය අවස්ථාවල දී එක්සත් ජනපද ඩොලර් ද්‍රවශීල අවශ්‍යතා සපුරා ගැනීමට යොදා ගැනීමේ තාවකාලික මූලාශ්‍රයක් වශයෙන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුව සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය දිනෙක ගිවිසුමකට එළඹිණි. මෙම පහසුකම ශාස්ත්‍රීය වචනවලින් හැදින්වෙනුයේ, "විදේශීය සහ අන්තර්ජාතික මූල්‍ය අධිකාරීන්" සඳහා වූ එක්දින ප්‍රතිතිමිලදී ගැනුම් පහසුකමක් (Overnight Repurchase Facility) වශයෙනි. ලොව පුරා බොහෝ  මහ බැංකු සිය කෙටිකාලීන ඩොලර් ද්‍රවශීල අවශ්‍යතා සපුරා ගැනීමේ ක්‍රමවේදයක් ලෙස මෙම පහසුකම භාවිත කොට ඇත. අපගේ දීර්ඝ කාලීන විදේශීය විනිමය ආයෝජන කළඹ පිළිබඳ හදිසි ව්‍යුහමය වෙනස්කම් සිදු කිරීමකින් තොර ව, අවශ්‍ය අවස්ථාවන්හි දී කෙටිකාලීන අරමුදල් අවශ්‍යතා සපුරා ගැනීමට මහ  බැංකුවකට මෙම පහසුකම මගින් ඉඩ සැලසේ.

Pages