ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 දෙසැම්බර් මාසයේ දී පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 නොවැම්බර් මාසයේ පැවති සියයට 5.2හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 4.6 දක්වා පහළ ගියේ ය. 2019 දෙසැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 නොවැම්බර් මාසයේ දී පැවති සියයට 9.4හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 7.5 දක්වා පහළ ගියේ ය. එසේ වුව ද, ආහාර නො වන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 නොවැම්බර් මාසයේ පැවති සියයට 1.7හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 2.2 දක්වා ඉහළ ගියේ ය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි දර්ශකයෙහි වෙනස, 2020 නොවැම්බර් මාසයේ පැවති සියයට 6.3හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 6.2 දක්වා සුළු වශයෙන් පහළ ගියේය.

2020 දෙසැම්බර් මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 1.03ක් ලෙස වාර්තා වූ අතර, ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. මීට අමතරව, 2020 දෙසැම්බර් මාසයේ දී ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල මාසික වෙනස්වීම් පිළිවෙළින්, සියයට 1.02ක් සහ සියයට 0.01ක් ලෙස වාර්තා විය. ඒ අනුව, 2020 දෙසැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ, ප්‍රධාන වශයෙන්, පොල්, එළවළු, අර්තාපල්, සහල්, සහ රතු ළූණු මිල ගණන්වල ඉහළ යෑමක් දක්නට ලැබුණි.

තවද, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය 2020 නොවැම්බර් මාසයේ දී පැවති සියයට 4.5හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 4.7 ඉහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2020 නොවැම්බර් මාසයේ දී පැවති සියයට 4.2හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 4.1 දක්වා සුළු වශයෙන් පහළ ගියේය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Thursday, January 21, 2021