Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කරයි

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කර ගෙන යාමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම 2019 ජූලි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාල සීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කරන ලදී.

 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය - එක්සත් ජනපද ඩොලර් බිලියන 2ක් වටිනා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කරයි

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වෙළඳපොල වෙත නැවත පැමිණීම සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ("ශ්‍රී ලංකාව") වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසර 5 ක පරිණත කාලයකින් යුත් එක්සත් ජනපද ඩොලර් මිලියන 500ක හා වසර 10ක (දිගු) පරිණත කාලයකින් යුත් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක ප්‍රමුඛ සුරැකුම් රහිත ස්ථාවර අනුපාත බැඳුම්කර (බැඳුම්කර) දෙකක්, පිළිවෙළින් 2024 මාර්තු 28 සහ 2030 මාර්තු 28 යන කල් පිරීම් දින සහිතව 2019 ජුනි 24 වන දින නිකුත් කරන ලදී. මෙම බැඳුම්කර සඳහා මූඩීස් ඉන්වෙස්ටර් සර්විස් (Moody’s Investor Service), ස්ටැන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (Standard and Poor’s) සහ ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) යන ආයතන මගින් පිළිවෙළින් ‘B2’, ‘B’ සහ ‘B’ යන ශ්‍රේණිගත කිරීම් ලබා දෙන ලදී.

ශ්‍රී ලංකාව තම ජාතික ගෙවීම් කාඩ්පත් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුව, ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම සමග එක්ව ජාතික ගෙවීම් කාඩ්පත් ක්‍රමය ක්‍රියාත්මක කිරීම තුලින් රට තුල ගෙවීම් ඉතිහාසයෙහි වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදී. ජාතික ගෙවීම් කාඩ්පත් ක්‍රමය ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම විසින් මෙහෙයවනු ලබන අතර එය ජාත්‍යන්තර ගෙවීම් කාඩ්පත් මෙහෙයුම් සමාගමක් වන ජපානයෙහි ජේසීබී ඉන්ටර්නැෂනල් (JCB International) ආයතනය සමග සම්බන්ධ වී කටයුතු කරනු ලබයි. ආරම්භයේදී මෙම කාඩ්පත් ක්‍රමය යටතේ හර කාඩ්පතක් නිකුත් කරනු ඇත. මෙයට අමතරව, ජාතික ගෙවීම් කාඩ්පත් ක්‍රමය යටතේ නිකුත් කරනු ලබන කාඩ්පත් වලින් මුදල් ආපසු ගැනීම් සඳහා ලංකාපේ (LankaPay) ජාලය සමග සම්බන්ධව රටපුරා ක්‍රියාත්මක වන 4,800 කට අධික ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් කල හැක.

2019 මැයි මස උද්ධමනය

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, පෙර වසරේ අනුරූප මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් 2019 අප්‍රේල් මාසයේ පැවති සියයට 3.6 හි සිට 2019 මැයි මාසයේ දී සියයට 3.5 දක්වා පහළ ගියේ ය. මේ අතර, 2019 මැයි මාසයේ දී, ආහාර සහ ආහාර නො වන කාණ්ඩයන්හි ලක්ෂ්‍යමය උද්ධමන අගයන් පිළිවෙලින් සියයට -0.4ක් සහ සියයට 6.7ක් ලෙස වාර්තා විය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස, 2019 අප්‍රේල් මාසයේ පැවති සියයට 1.9 හි සිට 2019 මැයි මාසයේ දී සියයට 2.0 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය.

තිරසාර මූල්‍ය පිළිබඳ ශ්‍රී ලාංකීය පෙර දැක්ම ජාතික වශයෙන් දියත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව තිරසාර මූල්‍ය පිළිබඳ වූ ශ්‍රී ලාංකීය පෙර දැක්ම 2019 ජුනි 19 වැනි දින කොළඹ ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්ථාගාරයේ දී දියත් කරන ලද අතර එදින මූල්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ තිරසාර මූල්‍යයනය පිළිබඳ ව පාර්ශ්වකරුවන් සඳහා සම්මන්ත්‍රණයක් ද පැවැත්විණි. මෙය 2019 අප්‍රේල් 10 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (International Finance Corporation, IFC) තිරසාර බැංකු ජාලයක් (Sustainable Banking Network, SBN) සඳහා වූ ගෝලීය හමුවේ දී මුල් වරට දියත් කරන ලද තිර‍සාර මූල්‍ය පිළිබඳ පෙර දැක්ම ජාතික වශයෙන් දියත් කිරීම සනිටුහන් කරයි. 

2019 අප්‍රේල් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

වෙළෙඳ ගිණුමේ හිඟය අඩු වීම හේතුවෙන් 2019 වසරේ අප්‍රේල් මාසයේ දී විදේශීය අංශය සාපේක්ෂ වශයෙන් ස්ථාවර ව පැවතුණි. 

වෙළෙඳ හිඟය 2018 වසරේ අප්‍රේල් මාසයේ දී පැවති එක්සත් ජනපද ඩොලර් මිලියන 999 සිට 2019 වසරේ අප්‍රේල් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 797ක් දක්වා අඩු විය.

2019 වසරේ අප්‍රේල් මාසයේ දී වෙළෙඳ හිඟයේ සැලකිය යුතු පහළ යෑම සඳහා ආනයන වියදම පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂ ව සියයට 11කින් අඩු වීම සහ අපනයන ඉපැයීම් සියයට 0.4කින් සුළු වශයෙන් ඉහළ යෑම  හේතු විය. 

Pages