Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2020 මැයි

2020 වසරේ මැයි මස දෙවන සතියේ දී සමාජ හා ආර්ථික කටයුතු සීමා කිරීම් බොහොමයක් ඉවත් කිරීමත් සමඟ විදේශීය අංශය ස්ථාවර වීමේ සලකුණු පෙන්නුම් කළේය. මැයි මාසයේ දී භාණ්ඩ ආනයන සැලකිය යුතු ලෙස අඩු වීමත් සමඟ, අත්‍යවශ්‍ය නොවන ආනයන සඳහා පනවන ලද සීමා කිරීම්වල බලපෑම නිරීක්ෂණය කළ හැකි විය. මේ අතර, අප්‍රේල් මාසයේදී සැලකිය යුතු ලෙස පහත වැටුණු භාණ්ඩ අපනයන, මැයි මාසය තුළ දී අපේක්ෂිත මට්ට්ම ඉක්මවා  නැවත යථා තත්ත්වයට පත් විය. විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ 2019 වසරේ මැයි මාසයට සාපේක්ෂව 2020 වසරේ මැයි මාසයේදී සැලකිය යුතු ලෙස අඩු වූ නමුත් 2020 අප්‍රේල් මාසයේ වාර්තා වූ ඉතා අඩු මට්ටමට සාපේක්ෂව සැලකිය යුතු වැඩි වීමක් වාර්තා කළේය. මූල්‍ය ප‍්‍රවාහ සැලකීමේදී, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි නොපියවා ඉතිරිව ඇති මුළු විදේශීය ආයෝජන ප්‍රමාණය මැයි මාසයේදී රාජ්‍ය සුරැකුම්පත් මත වූ ආයෝජනවල සුළු ගෙවීම් වාර්තා වීමත් සමඟ තවදුරටත් සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පැවතුණි. 2020 වසරේ මැයි මස මැද භාගයේදී කොළඹ කොටස් වෙළඳපොලේ ගනුදෙනු නැවත ආරම්භ කිරීමත් සමඟ යම් විදේශීය ආයෝජන ගෙවීම් ප්‍රමාණයක් වාර්තා විය. ප්‍රධාන වශයෙන් වෙළඳ හිඟය අඩු වීම හේතුවෙන්, ශ්‍රී ලංකා රුපියල මැයි මාසය තුළ සියයට 3.5ක අතිප්‍රමාණයක් වාර්තා කරමින් ස්ථාවර විය.

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයේ තැන්පත්කරුවන් වෙත රක්ෂණ වන්දි ගෙවීම

ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයේ තැන්පත්කරුවන් වෙත රුපියල් ලක්ෂ 6ක උපරිමයකට යටත්ව රක්ෂණ වන්දි ගෙවීම 2020 ජූනි මස 07 වන දින ආරම්භ කරන ලද අතර දිවයින පුරා මහජන බැංකු ශාඛා 63ක් මගින් මේ වන විට ගෙවීම් සිදු කෙරේ.

ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනය මගින් තහවුරු කරන ලද තැන්පත්කරුවන් 147,000කට පමණ රක්ෂණ වන්දි ගෙවීම සඳහා අවශ්‍ය මුදල් තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල වෙතින් මේ වන විටත් වෙන් කර දී අවසන් ය. 2020.07.12 දින වන විට, ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයේ තැන්පත්කරුවන් 19,279ක් මහජන බැංකුව වෙත පැමිණ තමන්ට හිමි රක්ෂණ වන්දි මුදල් ලබා ගෙන ඇති අතර ඒ වෙනුවෙන් මේ දක්වා වැය වී ඇති මුදල රුපියල් 5,175,336,249.68ක් (රුපියල් කෝටි 517ක් පමණ) වේ.

ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී ආයතනයේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 31 වන වගන්තිය ප්‍රකාරව, 2020 ජූලි මස 13 වන දින සි‍ට බලපැවැත්වෙන පරිදි ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී යන ආයතන දෙකෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම සඳහා 2020 ජූලි මස 10 වන දින තීරණය කරන ලදී.

2011 වසරේ සිට පැවති විවිධ අක්‍රමිකතා හේතුකොටගෙන ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී ආයතනය මේ වන වි‍ට බංකොලොත්භාවයට පත්ව ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම ආයතන යථා තත්වයට පත් කිරීම සඳහා සපයන ලද මාර්ගෝපදේශන සඳහා සෑහීමකට පත්විය හැකි පිළියම් යෙදීමට මෙම ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරීත්වය දිගින් දිගටම අපොහොසත් වීම නිසා 2018 ජනවාරි 02 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් එකී ආයතන වල මෙහෙයුම් කටයුතු සීමා කිරීම, අධ්‍යක්ෂ මණ්ඩලයේ බලතල සීමා කිරීම මෙන්ම එම ආයතන කටයුතු අධීක්ෂණය සඳහා කළමනාකාර මණ්ඩලයක් පත් කරන ලදි.

විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීම දිරිගැන්වීම සඳහා තවදුරටත් ගෙන ඇති ක්‍රියාමාර්ග

රට තුළ ව්‍යාප්ත වූ කොවිඩ් - 19 (Covid - 19) වසංගත තත්ත්වයේ බලපෑම්වලින් මිදීම සඳහා ක්‍රියාත්මක ජාතික ප්‍රයත්නයට සහාය ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය විසින් 2020.04.08 දින විශේෂ තැන්පතු ගිණුම හඳුන්වා දෙන ලදී. ඒ සඳහා යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතින බව දැකිය හැකි අතර, මේ වන විට ආසන්න වශයෙන් ඇ.එ.ජ. ඩොලර් මිලියන 87 ක මුදලක් විශේෂ තැන්පතු ගිණුම් සඳහා ශ්‍රී ලංකාව වෙත ලැබී ඇත.

ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විමසීමෙන් පසුව, විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීම දිරිගැන්වීම සඳහා තවදුරටත් පහත දක්වා ඇති ක්‍රියාමාර්ග ගෙන ඇත.

සම්පුර්ණ ලිපිය

ශ්‍රී ලංකා මහ බැංකුව කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා රුපියල් බිලියන 60ක් කාරක ප්‍රාග්ධන ණය ලෙස අනුමත කරයි

2020 ජූලි 10 දිනෙන් අවසන් වූ සතිය තුළ දී නව ණය අයදුම්පත් 2,066ක් සඳහා රුපියල් මිලියන 6,978ක මුදල් ප්‍රමාණයක් අනුමත කිරීමත් සමඟ 2020 ජූලි මස 10 වන දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද ණය සහන” පහසුකම යටතේ ව්‍යාපාර 22,306ක් සඳහා රුපියල් මිලියන 60,250ක මුදල් ප්‍රමාණයක් අනුමත කරන ලදී. 2020 ජූලි මස 09 වන දින වන විට දී බලපත්‍රලාභී බැංකු විසින් ව්‍යාපාර 13,333ක් අතරේ රුපියල් මිලියන 30,528ක මුදල් ප්‍රමාණයක්  මුදා හැර තිබුණි. 

ශ්‍රී ලංකා මහ බැංකුව, රජය හා එක්ව කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ව්‍යාපාර සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා සියයට හතරක (4%) වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ කාරක ප්‍රාග්ධන ණය පහසුකම් සැපයීමට, “සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද ණය සහන” යෝජනා ක්‍රමය හඳුන්වා දුන් අතර, එය රටෙහි ආර්ථික කටයුතු නැවත නඟා සිටුවීමට ඉවහල් වනු ඇත. වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියනයට වඩා අඩු ස්වයං රැකියා සහ තනි පුද්ගල ව්‍යාපාර ඇතුළු කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ ඕනෑම ව්‍යාපාරයක්  සඳහා මෙම යෝජනා ක්‍රමය යටතේ ණය සහන ලබා ගත හැකිය. මෙම රුපියල් බිලියනයක වාර්ෂික පිරිවැටුමේ සීමාව සංචාරක, අපනයන සහ ඒ ආශ්‍රිත සේවාවන් සපයන ව්‍යාපාර සඳහා අදාළ නොවේ. 

මුදල් ප්‍රතිපත්ති විවරණය- 2020 ජූලි

ශ්‍රී  ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 ජූලි 08 වැනි දින පැවති රැස්වීමේ දී, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 දක්වා පදනම් අංක 100කින් අඩු කිරීමට තීරණය කළේය. වෙළඳපොළ ණය අනුපාතික තවදුරටත් පහළ හෙලීම මගින් ආර්ථිකයේ ඵලදායී අංශ වෙත කඩිනමින් ණය ලබා දීම සඳහා මූල්‍ය පද්ධතිය දිරිමත් කිරීමේ අරමුණින් යුතුව අඩු උද්ධමනයක් පවතින වාතාවරණයක්  යටතේ මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹිණි. එමඟින් කොවිඩ්-19 මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර සඳහා මෙන්ම පුළුල් ආර්ථිකයට වන සහාය වඩාත් ශක්තිමත් කෙරෙනු ඇත.

Pages