Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2023 අප්‍රේල්

2023 අප්‍රේල් මාසයේදී, නිෂ්පාදන හා සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක පහළ යන ලදී

පෙර වසරවලදී ද පැවති රටාවට අනුගත වෙමින්, 2023 අප්‍රේල් මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය දර්ශකාංක 34.7ක් දක්වා පහළ ගිය අතර එමගින් ඉකුත් මාසයට සාපේක්ෂව නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරකම්වල පහත වැටීමක් පෙන්නුම් කරන ලදී. ඒ අනුව,  නිෂ්පාදන, නව ඇණවුම්, සේවා නියුක්තිය, සහ තොග මිලදී ගැනුම් යන උප-දර්ශක, සැම වසරකම පාහේ ඉහළ අගයක් වාර්තා කරන මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසයේදී පහත වැටුණි.

සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2023 අප්‍රේල් මාසයේ දී 49.6ක දර්ශක අගයක් වාර්තා කරමින් කඩඉම් මට්ටමට වඩා ඉතා මඳක් පහළින් පැවතුනි. මේ සඳහා නව ව්‍යාපාර, සේවා නියුක්තිය සහ නිමකිරීමට නියමිත කාර්යයන්හි සිදු වූ පහළ යෑම් හේතු විය. කෙසේ වුවද, මෙම මාසය තුළ දී ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම් අඛණ්ඩව ඉහළ ගියේය.

මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතන වල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2022 නොවැම්බර් 17 දින සිට 2023 මාර්තු 31 දින දක්වා කාලපරිච්ඡේදය තුළ පරිපාලනමය දණ්ඩන පැනවීම/එකතු කිරීම

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, එම පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ.  මූල්‍ය ආයතනයක් විසින් සිදුකරනු ලබන අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බරපතලකම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය. 

ඒ අනුව, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2022 නොවැම්බර් 17 දින සිට 2023 මාර්තු 31 දින දක්වා කාලය තුළ පහත දක්වා ඇති පරිදි එකතු කර ගන්නා ලද සමස්ත දඩ මුදල රුපියල් මිලියන 5.5 කි. දණ්ඩන මගින් එකතු කරන ලද මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කරන ලදී.

කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2023 අප්‍රේල් මාසයේ දී තියුණු පහළ යෑමක් පෙන්නුම් කළේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 මාර්තු මාසයේ වාර්තා වූ සියයට 50.3හි සිට 2023 අප්‍රේල් මාසයේ දී සියයට 35.3 දක්වා පහළ යෑමක් වාර්තා කළේය. පුරෝකථනවලට සාපේක්ෂව, වාර්තා වූ උද්ධමනය පහළ මට්ටමක පැවතීම සඳහා නිතර මිල උච්චාවචන සහිත ආහාර අයිතම සහ ආහාර නොවන අයිතමවල මිල අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි ලෙස පහළ යෑම හේතු විය.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2023 මාර්තු

වෙළඳ හිඟය, 2023 වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස පුළුල් වුවද, වසරකට පෙර පැවති අගයට සාපේක්ෂව 2023 වසරේ මාර්තු මාසයේ දී අඛණ්ඩව අඩු මට්ටමක පැවතුණි

2023 වසරේ මාර්තු මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක ඉපැයීම් සැලකිය යුතු ලෙස වර්ධනය විය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) විස්තීර්ණ ණය පහසුකම් වැඩපිළිවෙළ අවසන් කිරීම සහ මහ බැංකුව විසින් ගනු ලැබූ ප්‍රතිපත්ති ලිහිල් කිරීම මගින් මෙහෙයවනු ලබන දේශීය විදේශ විනිමය වෙළඳපොළේ ද්‍රවශීලතා තත්ත්ව වැඩිදියුණු වීම හරහා ඇති වූ වැඩිදියුණු වූ වෙළෙඳපොළ අපේක්ෂාවන් හේතුවෙන් 2023 වසරේ මාර්තු මාසයේ දී විනිමය අනුපාතිකය කැපී පෙනෙන ලෙස අතිප්‍රමාණය විය

ශ්‍රී ලංකා මහ බැංකුව 2022 වසර සඳහා සිය වාර්ෂික වාර්තාව නිකුත් කරයි

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35වන වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 73වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් ගරු ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය, රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත අද දින (2023 අප්‍රේල් මස 27) පිළිගන්වන ලදී.

නෝට්ටු ඇසුරුමක (බණ්ඩලයක) අඩුවීමක් වාර්තාවීම

2023.04.11 දින ව්‍යවහාර මුදල් මෙහෙයුම් කටයුතු අතරතුරේ දී, ශ්‍රී ලංකා මහ බැංකුවේ අභ්‍යන්තරයේ වූ සුරක්ෂිතාගාරයක් තුළ රුපියල් මිලියන 5ක (රුපියල් 5000 නෝට්ටු) වටිනාකමක් සහිත නෝට්ටු ඇසුරුමක (බණ්ඩලයක) අඩුවීමක් අනාවරණය විය. මේ සම්බන්ධව අභ්‍යන්තර විමර්ශනයක් වහා අරඹන ලද අතර කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. පොලිස් විමර්ශන කටයුතු දැනට සිදුවෙමින් පවතී. මෙම සිද්ධිය සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විමර්ශන කටයුතු දැඩිව සිදු කිරීමට සහ අභ්‍යන්තර පාලනයන් හා මෙහෙයුම් කටයුතු ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටී. තවද පොලිසිය විසින් සිදුකරනු ලබන විමර්ශන කටයුතු සඳහා  අවශ්‍ය සහායද අඛණ්ඩව ලබා දෙමින් සිටී.

Pages