Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2023 ජුනි මාසයේදී ද තියුණු පහළ යෑමක් වාර්තා කළේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 මැයි මාසයේ වාර්තා වූ සියයට 25.2හි සිට 2023 ජුනි මාසයේ දී සියයට 12.0 දක්වා පහළ යෑමක් වාර්තා කළේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, 2023 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන ලද උද්ධමනය පහළ යෑමේ ප්‍රවණතාවට බොහෝ දුරට අනුකූල වේ.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2023 මැයි

සමස්ත වෙළඳ හිඟය, 2023 වසර තුළ මේ දක්වා පහළ මට්ටමක පැවතුණි. 2023 වසරේ මැයි මාසයේ දී වෙළඳ හිඟය, 2022 වසරේ පෙබරවාරි මාසයෙන් පසු පළමු වරට වසරකට පෙර පැවති අගයට සාපේක්ෂව පුළුල් විය.

2023 වසරේ මැයි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පෙර මාසයට වඩා ඉහළ අගයක් වාර්තා කළේය. සංචාරක ඉපැයීම් ශක්තිමත් වර්ධනයක් වාර්තා කළ ද සාමාන්‍යයෙන් සංචාරක පැමිණීම් වැඩි වශයෙන් වාර්තා නොවන කාලපරිච්ඡේදයක් නිසා 2023 වසරේ අප්‍රේල් මාසයට වඩා අඩු විය.

2023 වසරේ මැයි මාසය තුළ දී සියයට 8.8කින් විනිමය අනුපාතිකය කැපී පෙනෙන ලෙස අතිප්‍රමාණය විය.

රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශ ආයෝජන 2023 වසරේ මැයි මාසය තුළ දී කැපී පෙනෙන ශුද්ධ ලැබීමක් වාර්තා කළේය.

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලද එ.ජ. ඩොලර් මිලියන 350ක ලැබීම මෙන්ම මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ශුද්ධ පදනම මත විදේශ විනිමය සැලකිය යුතු මිළදී ගැනීම් සිදු කිරීම හේතුවෙන් දළ නිල සංචිත මට්ටම, 2023 වසරේ අප්‍රේල් මස අවසන් වන විට පැවති එ.ජ. ඩොලර් බිලියන 2.8ට සාපේක්ෂව, මැයි මස අවසන් වන විට ආසන්න ලෙස එ.ජ. ඩොලර් බිලියන 3.5ක් දක්වා ඉහළ ගියේය.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2023 මැයි

2023 මැයි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් ද නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පහත වැටීමක් ද පෙන්නුම් කරන ලදී.

නිෂ්පාදන ක්‍රියාකාරකම්හි පසු බෑමක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2023 මැයි මාසයේ දී ඉකුත් මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වුවද පහළ යන ලදී. ඒ අනුව,  නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2023 මැයි මාසයේ දී 46.2ක අගයක් වාර්තා කළ අතර , මේ සඳහා සියලුම උප-දර්ශකයන්ගේ පහළ යෑම හේතු විය.

සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, පසුගිය මාසයේ දක්නට ලැබුණු සුළු පහත වැටීමෙන් අනතුරුව, 53.5ක දර්ශක අගයක් වාර්තා කරමින් 2023 මැයි මාසයේ දී නැවතත් වර්ධන කලාපයට ළඟා විය. මේ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්හි සිදු වූ ඉහළ යෑම් හේතු විය. කෙසේ වුවද, සේවා නියුක්තිය සහ නිමකිරීමට නියමිත කාර්යයන් මැයි මාසය තුළ දී අඛණ්ඩව පහළ ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2023 මැයි මස 31 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 13.00 සහ සියයට 14.00 දක්වා පදනම් අංක 250කින් අඩු කිරීමට තීරණය කළේය. උද්ධමනය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි වේගයකින් අඩු වීම, උද්ධමන පීඩන ක්‍රමයෙන් පහළ යෑම සහ උද්ධමන අපේක්ෂා තවදුරටත් පාලනය වීම යනාදී ප්‍රවණතාවන්ට අනුකූලව මුදල් තත්ත්ව ලිහිල් කිරීමේ අරමුණින් මුදල් මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. මෙලෙස මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීම ආරම්භ කිරීම හරහා මූල්‍ය වෙළඳපොළ තුළ පවතින පීඩන ලිහිල් කරන අතරම 2022 වසරේදී ආර්ථික ක්‍රියාකාරකම්වල සිදු වූ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම සංකෝචනයෙන් ආර්ථිකය යථා තත්ත්වයට පත් වීම සඳහා සහායයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2023 අප්‍රේල්

වෙළඳ හිඟය, මාසික ලක්ෂ්‍යමය පදනම මත අඛණ්ඩව දෙවන මාසයටත් ඉහළ යෑමක් වාර්තා කළ ද, 2023 වසරේ අප්‍රේල් මාසයේ දී වසරකට පෙර පැවති අගයට සාපේක්ෂව අඛණ්ඩව පහළ මට්ටමක පැවතුණි.

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක ඉපැයීම් 2023 වසරේ අප්‍රේල් මාසයේ දී පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස වැඩිදියුණු විය.

විනිමය අනුපාතිකයෙහි කැපී පෙනෙන අතිප්‍රමාණය වීම 2023 වසරේ මාර්තු මස මුල දී ආරම්භ වූ අතර එය 2023 වසරේ අප්‍රේල් මාසය පුරාවටම අඛණ්ඩව පැවතුණි.

රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි විදේශ ආයෝජන මෙම මාසය තුළ දී කැපී පෙනෙන ශුද්ධ ලැබීම් වාර්තා කළේය.

දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ වෙතින් මහ බැංකුව විසින් විදේශ විනිමය ශුද්ධ පදනම මත මිළදී ගැනීමත් සමඟ 2023 වසරේ අප්‍රේල් මස අවසන් වන විට දළ නිල සංචිත තවදුරටත් වර්ධනය විය.

කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2023 මැයි මාසයේ දී තවදුරටත් තියුණු පහළ යෑමක් පෙන්නුම් කළේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 අප්‍රේල් මාසයේ වාර්තා වූ සියයට 35.3හි සිට 2023 මැයි මාසයේ දී සියයට 25.2 දක්වා පහළ යෑමක් වාර්තා කළේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, 2023 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන ලද උද්ධමනය පහළ යෑමේ ප්‍රවණතාවට බොහෝ දුරට අනුකූල වේ.

ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 අප්‍රේල් මාසයේ පැවති සියයට 30.6හි සිට 2023 මැයි මාසයේ දී සියයට 21.5 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 අප්‍රේල් මාසයේ පැවති සියයට 37.6හි සිට 2023 මැයි මාසයේ දී සියයට 27.0 දක්වා පහළ ගියේය. 2023 මැයි මාසයේ දී කො.පා.මි. දර්ශකයේ මාසික වෙනස, සියයට -0.02ක් ලෙස වාර්තා විය. මෙම සුළු මාසික වෙනස සඳහා ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි වාර්තා වූ සියයට -0.56ක මිල පහළ යෑම,  ආහාර කාණ්ඩයේ අයිතමවල  මිල ගණන්හි දක්නට ලැබුණු සියයට 0.53ක මිල වැඩිවීම මගින් තුලනය වීම හේතු විය. ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2023 අප්‍රේල් මාසයේ පැවති සියයට 27.8හි සිට 2023 මැයි මාසයේ දී සියයට 20.3 දක්වා පහළ ගියේය. 

Pages