කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 දෙසැම්බර් මාසයේ වාර්තා වූ සියයට 4.0හි සිට 2024 ජනවාරි මාසයේ දී සියයට 6.4 දක්වා ඉහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම ඉහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ.
වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2023 දෙසැම්බර් මාසයේ පැවති සියයට 0.3හි සිට 2024 ජනවාරි මාසයේ දී සියයට 3.3 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර නොවන උද්ධමනය 2023 දෙසැම්බර් මාසයේ පැවති සියයට 5.8හි සිට 2024 ජනවාරි මාසයේ දී සියයට 7.9 දක්වා ඉහළ ගියේය. ආහාර කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ සියයට 1.21ක සහ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ සියයට 1.66ක මිල ඉහළ යෑම් හේතුවෙන් 2024 ජනවාරි මාසයේ දී කො.පා.මි. දර්ශකයේ මාසික වෙනස සියයට 2.87ක් ලෙස වාර්තා විය. තවද, ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2023 දෙසැම්බර් මාසයේ පැවති සියයට 0.6හි සිට 2024 ජනවාරි මාසයේ දී සියයට 2.2 දක්වා ඉහළ ගියේය.















