Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

මහ බැංකු අධිපතිවරයාගේ රුව අනිසි ලෙස භාවිතා කරමින් කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය‍ කරන ලද වංචනික වීඩියෝවලින් ප්‍රවේශම් වන්න

මේ දිනවල සමාජ මාධ්‍යවල, විශේෂයෙන් මුහුණුපොතෙහි (Facebook) සංසරණය වන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාගේ රුව අනිසි ලෙස භාවිතා කරමින් කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කරන ලද වංචනික වීඩියෝ පිළිබඳ ව ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත දැඩි ලෙස අනතුරු අඟවයි. මහජනතාව නොමග යවනසුලු මෙම වීඩියෝ මගින් මහ බැංකුවේ අධිපතිවරයා අසාමාන්‍ය මූල්‍ය ප්‍රතිලාභ ලබා දෙන බවට පොරොන්දු වන ආයෝජන යෝජනා ක්‍රම අනුමත කරන අයෙකු වශයෙන් ව්‍යාජ ලෙස හඳුන්වා දී තිබේ. මාර්ගගත මූල්‍ය වංචා ගැන දැනුමක් නැති පුද්ගලයන් සතු මුදල්, වංචනික ලෙස අත්පත් කර ගැනීමේ අරමුණින් ඔවුන් ව සැක කටයුතු බාහිර පුද්ගලයන් වෙත යොමු කිරීම මෙහි දී සිදු වේ.

ශ්‍රී ලංකා විදේශ විනිමය වෙළඳපොළ තුළ විදේශ විනිමය ගනුදෙනු ගැලපුම් වේදිකාවක් (Matching Platform) එළි දැක්වෙයි

වඩාත් පුළුල් විදේශ විනිමය වෙළඳපොළක් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලබන මූලිකත්වයට අනුකූල ව, ශ්‍රී ලංකා විදේශ විනිමය වෙළඳපොළ සාර්ථක ලෙස විදේශ විනිමය ගනුදෙනු ගැලපුම් වේදිකාවක් එළිදක්වා ඇත. දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි මිල අනාවරණ හැකියාව වැඩි දියුණු කිරීම සහ එහි විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීම සඳහා හඳුන්වා දෙන ලද මෙම වේදිකාව වෙත ප්‍රවේශ වීමට සියලු ම බලපත්‍රලාභී වාණිජ බැංකුවලට, ජාතික ඉතිරිකිරීමේ බැංකුවට සහ ශ්‍රී ලංකා මහ බැංකුවට හැකියාව ඇත. ඒ අනුව, මේ සඳහා දේශීය විදේශ විනිමය වෙළඳපොළ විසින් බ්ලූම්බර්ග් (Bloomberg) ආයතනයේ BMatch විදේශ විනිමය ගනුදෙනු ගැලපුම් වේදිකාව තෝරා ගෙන ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සමඟ පවතින විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදු කළ තෙවන සමාලෝචනය සම්පූර්ණ කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සමඟ පවතින මාස 48ක විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදු කළ තෙවන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවලට සහාය දැක්වීම සඳහා විශේෂ ගැනුම් හිමිකම් (වි.ගැ.හි.) මිලියන 254ක (එ.ජ. ඩොලර් මිලියන 334ක් පමණ) මූල්‍යන පහසුකමක් වෙත ක්ෂණික ප්‍රවේශය හිමිවිය. මෙය ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන සිව්වන වාරිකය වන අතර, ජා.මූ. අරමුදලෙන් මේ දක්වා ලබා දී ඇති මුළු මූල්‍යන සහාය ඒ අනුව, වි.ගැ.හි. බිලියන 1.02ක් (එ.ජ. ඩොලර් බිලියන 1.34ක් පමණ) දක්වා ඉහළ යයි.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2025 ජනවාරි

වෙළඳ හිඟය ඉහළ යෑම මධ්‍යයේ වුව ද, සේවා අපනයන, සංචාරක සේවා සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවලට අදාළ ඉහළ ලැබීම් හේතුවෙන්, 2025 වසරේ ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශයේ ධනාත්මක ප්‍රවණතාව අඛණ්ඩව පැවතියේය.

කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2025 පෙබරවාරි මාසයේ දී ද ඍණ අගයක් වාර්තා කළේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූලව, අඛණ්ඩව හයවන මාසයටත් ඍණ අගයක පවතිමින් 2025 ජනවාරි මාසයේ දී වාර්තා වූ සියයට 4.0ක අවධමනයට සාපේක්ෂව 2025 පෙබරවාරි මාසයේ දී සියයට 4.2ක අවධමනයක් වාර්තා කළේය.

ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2025 ජනවාරි

ඉදිකිරීම් අංශයේ අඛණ්ඩ වර්ධනය පිළිඹිබු කරමින් ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2025 ජනවාරි මාසයේ දී දර්ශකාංක 52.9ක් දක්වා තවදුරටත් ඉහළ ගියේය. විශේෂයෙන්ම, ස්ථාවර මිල මට්ටම් සහ හිතකර කාලගුණය වැනි යහපත් ව්‍යාපාරික තත්ත්ව හේතුවෙන්, දැනට පවතින ඉදිකිරීම් ව්‍යාපෘති කඩිනමින් අවසන් වෙමින් පවතින බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කළහ. තවද, මෙම ප්‍රගතිය තවදුරටත් පවත්වා ගැනීම සඳහා නව ව්‍යාපෘතිවල පවතින අවශ්‍යතාවය ද ඔවුහු අවධාරණය කළහ.  

සම්පූර්ණ ලිපිය

Pages