Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ලංකාපුත්‍ර ඩිවලොප්මන්ට් බෑන්ක් ලිමිටඩ් වෙත නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු කිරීම

2016 රජයේ අයවැය මගින් යෝජනා කරන ලද පරිදි ලංකාපුත්‍ර ඩිවලොප්මන්ට් බෑන්ක් ලිමිටඩ්, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමග ඒකාබද්ධ කිරීමෙන් අනතුරුව 1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 76එෆ් වගන්තිය සමග කියවිය යුතු 9(9) වගන්තියේ නියෝග ප්‍රාකාරව, ලංකාපුත්‍ර ඩිවලොප්මන්ට් බෑන්ක් ලිමිටඩ් වෙත නිකුත් කර ඇති බලපත්‍රය 2019 අප්‍රේල් 01 දින සිට බලපැවැත්වෙන පරිදි අහෝසි කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, 2019 අප්‍රේල් 01 දින සිට බලපැවැත්වෙන පරිදි ලංකාපුත්‍ර ඩිවලොප්මන්ට් බෑන්ක් ලිමිටඩ්  හි සියළුම වත්කම් හා වගකීම් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් අත්පත් කර ගෙන ඒකාබද්ධ කරන ලද අතර, ලංකාපුත්‍ර  ඩිවලොප්මන්ට් බෑන්ක් ලිමිටඩ් මගින් කරගෙන ගිය සියළු බැංකු ව්‍යාපාර කටයුතු ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් කරගෙන යනු ලබයි.

නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් හි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම අවලංගු කිරීම

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් (ප‍්‍රාථමික අලෙවිකරුවන්) නියෝග හා දේශීය භාණ්ඩාගාර බිල්පත් (ප‍්‍රාථමික අලෙවිකරුවන්) නියෝගයන්ට අනුව, නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමට පනවා තිබූ ප‍්‍රාථමික අලෙවිකරුවකු වශයෙන් සිදුකරනු ලැබිය හැකි ව්‍යාපාර කටයුතු සහ ක‍්‍රියාකාරකම් අත්හිටුවීම 2019 නොවැම්බර් 30 වැනි දින පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

මුදල් ප්‍රතිපත්ති විවරණය: 2019 - අංක 07

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2019 නොවැම්බර් 28 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.00 සහ සියයට 8.00 ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස්ව තබා ගනිමින් සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පවත්වා ගෙන යෑමට තීරණය කළේය. දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, මූල්‍ය වෙළඳපොළෙහි මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතාවන් මනාව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගනු ලැබීය. මුදල් මණ්ඩලයේ මෙම තීරණය, උද්ධමනය සියයට 4-6 අතර අපේක්ෂිත පරාසය තුළ පවත්වා ගැනීමේ අරමුණ සමඟ අනුකූල වන අතර, මැදිකාලීනව ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටමට ළඟාවීම සඳහා සහාය වනු ඇත.

ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ගෙන ඇති නියාමන ක්‍රියාමාර්ග

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය සම්බන්ධයෙන් ගෙන ඇති නියාමන ක්‍රියාමාර්ග පිළිබඳ ව 2019 නොවැම්බර් 26 දින පුවත්පත් සහ පුවත් වෙබ් අඩවි කීපයක් තුළ පළ වූ ඇතැම් තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට යොමු වී ඇති අතර ඒ සම්බන්ධ ව පහත පරිදි පැහැදිලි කිරීමට කැමැත්තෙමු.

2019 ඔක්තෝබර් 23 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය වෙත නිකුත් කර තිබූ බලපත්‍රය අවලංගු කිරීම සඳහා වන දැන්වීමක් නිකුත් කරන ලදී.

2019 ඔක්තෝබර් මාසයේ දී උද්ධමනය ඉහළ යයි

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 5.0 හි සිට 2019 ඔක්තෝබර් මාසයේ දී සියයට 5.6 දක්වා ඉහළ ගිය අතර ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා දායක විය. ඒ අනුව, ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2019 සැප්තැම්බර් මාසයේ දී පැවති සියයට 4.9 හි සිට 2019 ඔක්තෝබර් මාසයේ දී සියයට 7.3 දක්වා ඉහළ ගියේ ය. කෙසේ වුව ද, 2019 මැයි මාසයේ සිට පහළ යන උපනතියක් පෙන්නුම් කළ ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2019 ඔක්තෝබර් මාසයේ දී සියයට 4.3ක අගයක් වාර්තා කළේ ය. 

අන්තර්ජාලය පදනම් කරගත් මූල්‍ය වංචාවලින් ප්‍රවේශම් වන්න - ඔබගේ බැංකු මුරපද සහ පුද්ගලික හැඳුනුම් අංක (PIN) වෙනත් පාර්ශවයන් සමග හුවමාරු නොකරන්න

සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන විවිධ මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබී ඇත. මෙවැනි වංචාවන්හි වැඩිවීමක් මෑතකදී නිරීක්ෂණය විය.

මෙම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරේ. එවැනි වංචනික ණය අනුමත කිරීමේ ක්‍රියාවලියේදී, වංචාකරුවන් සාමාන්‍ය ජනතාවගේ බැංකු ගිණුම් අංක සහ ඔවුනගේ බැංකු පුද්ගලික හැඳුනුම් අංක (PIN) වැනි රහස්‍ය තොරතුරු තමන්ට ලබාගැනීම සඳහා මහජනයා පොළඹවයි. එමගින් වංචාකරුවන් පාරිභෝගික ගිණුම් වෙත පිවිස ඒවායේ ඇති මුදල් සොරකම් කිරීමට එවැනි තොරතුරු භාවිතා කරනු ලබයි.

ගිණුම්හිමියන්ගේ රහස්‍ය තොරතුරු වශයෙන් ගිණුමෙහි සහ ගිණුම් හිමියාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට භාවිතා කළ හැකි තොරතුරු ලෙස හැඳින්විය හැකිය.

Pages