'ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත - 2020' ප්‍රකාශනය නිකුත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ, 'ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත - 2020' වාර්ෂික ප්‍රකාශනයේ 43 වෙනි වෙළුම පොදු මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත. 

පහසුවෙන් ගෙන යා හැකි අයුරින් සකස් කොට ඇති මෙම ප්‍රකාශනයෙහි, ශ්‍රී ලංකාවේ මූලික තොරතුරු, මූලික ආර්ථික දර්ශක, ලෝකයේ අනෙකුත් රටවල් සමඟ ශ්‍රී ලංකාවේ තත්ත්වය, සමාජ ආර්ථික තත්ත්වයන්, මානව සම්පත් තොරතුරු, ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ආර්ථික හා සමාජ යටිතල පහසුකම්, මිල සහ වැටුප්, විදේශ වෙළඳාම සහ සංචාරක කර්මාන්තය, විදේශ මූල්‍ය, රාජ්‍ය මූල්‍ය කටයුතු, මූල්‍ය හා බැංකු  යන ශීර්ෂ 14 ක් යටතේ නවතම දත්ත ඇතුළත් වේ. 

කාලීන වැදගත්කමකින් යුතු, පුළුල් පරාසයක් ආවරණය වන සමාජ ආර්ථික දත්ත මෙම ප්‍රකාශනයේ සාරාංශ කර ඇති බැවින්, එය ප්‍රතිපත්ති සම්පාදකයන්ට, පර්යේෂකයන්ට, ශාස්ත්‍රලාභීන්ට, වෘත්තිකයන්ට, සිසුන්ට හා සාමාන්‍ය ජනතාවට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

මිල රුපියල් 50/- ක් වන මෙම ප්‍රකාශනය, කොළඹ 01, චැතැම් වීදීයේ, සෙන්ට්‍රල් පොයින්ට් ගොඩනැගිල්ලෙහි (දුරකථන අංක: 011-2444502) හා රාජගිරියේ, ශ්‍රී ජයවර්ධනපුර මාවතේ අංක 58, බැංකු විදු පියෙසෙහි (දුරකථන අංක: 011-2477803) පිහිටුවා ඇති අලෙවි කවුළු වලින් සහ මාතර, මාතලේ, නුවරඑළිය, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය හා අනුරාධපුර පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය කාර්යාලවල පිහිටුවා ඇති අලෙවි කවුළු වලින් මිල දී ගත හැකිය. තවද මෙහි වෙබ් පිටපත ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවියෙන් (http://www.cbsl.gov.lk) ලබා ගත හැක.

Published Date: 

Wednesday, September 23, 2020