ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 අගෝස්තු මාසයේ දී ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013=100)  වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජූලි මාසයේ පැවති සියයට 6.1හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 6.2 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය. ආහාර සහ ආහාර නො වන කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, 2020 ජූලි මාසයේ දී සියයට 12.9හි පැවති ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය, 2020 අගෝස්තු මාසයේ දී සියයට 13.2 දක්වා ඉහළ ගිය අතර, ආහාර නො වන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජූලි මාසයේ පැවති සියයට 1.0හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 1.1 දක්වා ඉහළ ගියේ ය

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස, 2020 ජූලි මාසයේ පැවති සියයට 5.9හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 6.1 දක්වා ඉහළ ගියේ ය. 

2020 අගෝස්තු මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි මාසික වෙනස සියයට 0.4ක් ලෙස වාර්තා වූ අතර, මේ සඳහා ආහාර සහ ආහාර නො වන කාණ්ඩයන්හි අයිතමවල දක්නට ලැබුණු මිල ඉහළ යෑම් බලපාන ලදී. ඒ අනුව, 2020 අගෝස්තු මාසයේ දී ආහාර කාණ්ඩයේ ප්‍රධාන වශයෙන් එළවළු, කහ කුඩු සහ පොල් මිල ගණන්වල ඉහළ යෑමක් දක්නට ලැබුණි.  මීට අමතර ව, ආහාර නො වන කාණ්ඩයෙහි මද්‍යසාර පාන වර්ග සහ දුම්කොළ උපකාණ්ඩයෙහි අයිතමවල මිල ගණන් 2020 අගෝස්තු මාසයේ දී සැලකිය යුතු ලෙස ඉහළ ගියේ ය. කෙසේ වුව ද, වෛද්‍ය පරීක්ෂණ ගාස්තුවල දක්නට ලැබුණු පහළ යෑමත් සමඟ සෞඛ්‍ය උපකාණ්ඩයෙහි මිල ගණන් 2020 අගෝස්තු මාසයේ දී පහළ ගියේ ය. 

සම්පුර්ණ ලිපිය

Published Date: 

Monday, September 21, 2020