Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය පිළිබඳව දැනුම්වත් කිරීම

2023 අගෝස්තු මස 28 වන අද දින, කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් නියෝජනය කරන්නන් ලෙස දක්වමින් යම් පිරිසක් විසින් දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය තුළින් සේවක අර්ථසාධක අරමුදලට සිදු වන්නේ යැයි කියනු ලබන බලපෑමට විරෝධය පාමින් පවත්වන ලද උද්ඝෝෂණය අතරතුර, ඔවුන් විසින් කොටුව පොලීසිය හරහා ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටින ලදී. එම ඉල්ලීමට එකඟ වෙමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා විසින් අද දිනම පස්වරු 2.30 ට එම පිරිස නියෝජනය කරමින් පස්දෙනෙකුට එම සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැමිණෙන ලෙස කොටුව පොලීසියේ නිලධාරීන් මඟින් දැනුම් දෙන ලදී. ‍ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සාකච්ඡාව ලබාදීමෙන් පසුව එම පිරිස විසින් ‍කොටුව පොලීසියේ නිලධාරීන් හරහා ශ්‍රී ලංකා මහ බැංකුව ‍වෙත දන්වා සිටින ලද්දේ අද දින එම සාකච්ඡාව සඳහා ඔවුන්ට සහභාගි විය නොහැකි බවයි.

නීති විරෝධී යෝජනා ක්‍රම පිළිබඳ මහජන පැමිණිලි

මාර්ගගත ක්‍රම (online) හරහා ක්‍රියාත්මක වන නොයෙකුත් යෝජනාක්‍රම මගින් ඒවා නීත්‍යානුකූල යෝජනාක්‍රම බව හුවාදැක්වීම සඳහා එම යෝජනාක්‍රම සාධාරණීකරණය කරමින් පහත  දක්වා ඇති ආකාරයේ කරුණු ඉදිරිපත් කර ආයෝජකයන් නොමඟයවා මුදල් තැන්පතු කරවා ගැනීමට/ ආයෝජනය ලබා ගැනීමට කටයුතු කරන බවට දන්වමින් මහජන පැමිණිලි රාශියක්  මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබී ඇත. 

  • ශ්‍රී  ලංකා මහ බැංකුවේ රෙගුලාසිවලට අනුකූලව ආයෝජකයින්ගේ අරමුදල් යෝජනා ක්‍රමය ආරක්ෂා කරන බව.
  • යෝජනා ක්‍රමය මගින් අදාළ බදු මුදල් රජයට ගෙවන බව.
  • යෝජනා ක්‍රමයට  සහභාගිවන්නන්ගේ මුදල් නැවත ලබා ගැනීම සඳහා ඔවුන්ගේ පුද්ගලික මුදලින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ආදායම් බද්දක් ගෙවිය යුතු අතර එසේ නොකලහොත්, ඔවුන්ගේ අරමුදල් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අත් හිටුවන බව.
  • මෙම යෝජනා ක්‍රම ශ්‍රී ලංකා මහ බැංකුව සමග සාකච්ඡා කරන බව.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉහත ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන අතර මෙම ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බව මහජනතාවට දැනුම් දෙනු ලැබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2023 අගෝස්තු මස 23 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 11.00 සහ සියයට 12.00 ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කළේය. 2023 ජූනි මාසයේ සිට ක්‍රියාත්මක වූ මුදල් තත්ත්වයන් සැලකිය යුතු ලෙස ලිහිල් කිරීම සහ දේශීය මෙන්ම ගෝලීය ආර්ථිකයේ වත්මන් සහ අපේක්ෂිත ප්‍රවණතා පිළිබඳ මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. මෙතෙක් ක්‍රියාත්මක කරන ලද මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර වශයෙන් වෙළඳපොළ පොලී අනුපාතික අඩු වීම සහ වෙළඳපොළ පොලී අනුපාතික තවදුරටත් වේගයෙන් අඩු වීම සඳහා අවකාශය ලබා දීමේ අවශ්‍යතාව මුදල් මණ්ඩලය විසින් සලකා බලන ලදී. කෙසේ වෙතත්, වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුකූල නොවන ලෙස ඇතැම් ණය උපකරණ සඳහා අදාළ වෙළඳපොළ පොලී අනුපාතික අධික ලෙස ඉහළ මට්ටමක පවතින බව මුදල් මණ්ඩලය නිරීක්ෂණය කළේය. තවද, මෑතකාලීන මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ගවලට අනුකූලව සමස්ත වෙළඳපොළ ණය පොලී අනුපාතිකවල වේගවත් අඩුවීමක් සිදු වනු ඇතැයි මුදල් මණ්ඩලය අපේක්ෂා කරයි.

“ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2023” ප්‍රකාශනය නිකුත් කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුවේ, වාර්ෂික ප්‍රකාශනයක් වන “ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2023” මහජනතාවගේ පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් පළ කරන මෙම පොතෙහි ක්ෂේත්‍ර අටක් යටතේ වර්ගීකරණය කරන ලද සංඛ්‍යාන වගු ඇතුළත් වේ. එනම්, ‘ජාතික නිෂ්පාදිතය’, ‘වියදම සහ ආදායම', ‘ආර්ථික සහ සමාජ යටිතල පහසුකම්', 'මිල, වැටුප් සහ සේවා නියුක්තිය', 'විදේශ වෙළඳ හා මූල්‍ය', 'රාජ්‍ය මූල්‍ය කටයුතු', 'මුදල්, පොලී අනුපාතික සහ ප්‍රාග්ධන වෙළඳපොළ', ‘මූල්‍ය අංශයේ ක්‍රියාකාරිත්වය' සහ අනෙකුත් රටවල සංඛ්‍යාන වශයෙනි. මෙම ප්‍රකාශනය, සමාජ හා ආර්ථික සංඛ්‍යාන පිළිබඳව උනන්දු වන ඕනෑම අයෙකුට ප්‍රයෝජනවත් වනු ඇත.

මෙම ප්‍රකාශනයේ සිංහල පිටපත ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවියෙන් (http://www.cbsl.gov.lk) ලබා ගත හැක.

 

 

ඉඩම් තක්සේරු දර්ශකය - 2023 වසරේ පළමු භාගය

කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2023 වසරේ පළමු භාගයේ දී සියයට 15.2 ක වාර්ෂික වර්ධනයක් සහිතව දර්ශකාංක 215.3 ක් දක්වා ඉහළ ගියේය. නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනෙහි ඉහළ යාම පිළිවෙලින් සියයට 17.2, 15.1 සහ 13.5 ක් වූ අතර එය සමස්ත ඉඩම් තක්සේරු දර්ශකයෙහි ඉහළ යාම සඳහා හේතු විය. අර්ධ වාර්ෂික පදනමින්, 2022 දෙවන භාගයට සාපේක්ෂව 2023 පළමු භාගය තුළ ඉඩම් තක්සේරු දර්ශකය සියයට 4.9 කින් වැඩි විය. මෙම වැඩිවීම සඳහා ඉහළම දායකත්වය නේවාසික ඉඩම් තක්සේරු අනු දර්ශකයෙන් ලබා දී ඇති අතර අනුපිළිවෙලින් වාණිජ හා කාර්මික අනු දර්ශක ද මේ සඳහා දායක විය. කෙසේ වෙතත්, 2023 පළමු භාගය තුළ ඉඩම් තක්සේරු දර්ශකයේ අර්ධ වාර්ෂික වර්ධනයේ අඩුවීමක් දක්නට ලැබුණි.

මූල්‍ය පාරිභෝගික ආරක්ෂණය පිළිබඳ රෙගුලාසි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 1949 අංක 58 දරන මුදල් නීති පනතේ 10 (ඇ) වගන්තිය ප්‍රකාරව 2023 අංක 01 දරන මූල්‍ය පාරිභෝගික ආරක්ෂණය පිළිබඳ රෙගුලාසි නිකුත් කරන ලද අතර එය 2023.08.09 දිනැති අංක 2344/17 දරන රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලදී. මෙම රෙගුලාසි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන සියලුම මූල්‍ය සේවා සපයන්නන් සඳහා ඒකාකාරීව අදාළ වන අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් මූල්‍ය පාරිභෝගික ආරක්ෂණ රාමු, විශේෂයෙන් බැංකු පනත, මූල්‍ය ව්‍යාපාර පනත සහ කල්බදු මූල්‍යකරණ පනත යටතේ නිකුත් කර ඇති මූල්‍ය පාරිභෝගික ආරක්ෂණ විධානයන් ශක්තිමත් කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ. තවද, ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන් සැලකිල්ලට ගෙන ගොඩ නගා ඇති මෙම රෙගුලාසි මඟින් ශ්‍රී ලංකාව තුළ විශ්වාසනීය සහ ස්ථාවර මූල්‍ය පද්ධතියක් වැඩි දියුණු කිරීමට පහසුකම් සලසමින් ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් සිදු කරනු ලබන වෙළෙඳපොල හැසිරීම් අධීක්ෂණය සඳහා අවශ්‍ය පදනම ස්ථාපිත කර ඇත.

Pages