Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

පළාත් දළ දේශීය නිෂ්පාදිතය (ප.ද.දේ.නි.) - 2022

ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරීත්වය සඳහා බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත් 2022 වසරේ දී ද ප්‍රමුඛ දායකත්වය ලබා දී ඇත. 

ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු සඳහා ලබා දෙන දායකත්වය වඩාත් සවිමත් කරගනිමින්, බස්නාහිර පළාත විසින් නාමික ද.දේ.නි. සඳහා දක්වන දායකත්වය 2022 වසරේ දී සියයට 43.4ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත් විය. බස්නාහිර පළාතේ මෙම ඉහළ දායකත්වය බොහෝ ආර්ථික කටයුතු තුළින් දක්නට ලැබුණු අතර, සේවා සහ කර්මාන්ත අංශ තුළ විශේෂයෙන් කැපී පෙනුණි. තවද, සමස්ත ද.දේ.නි. සඳහා දෙවන සහ තෙවන ඉහළම දායකත්වයන් අනුපිළිවෙළින් වයඹ (සියයට 11.2) සහ මධ්‍යම (සියයට 10.0) පළාත් විසින් ලබාදෙන ලදී.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (නිෂ්පාදන සහ සේවා) - නොවැම්බර් 2023

නිෂ්පාදන සහ සේවා අංශවල ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක 2023 නොවැම්බර් මාසයේ දී ඉහළ ගියේය

2023 නොවැම්බර් මාසයේ දී නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය පෙර මාසයට සාපේක්ෂව දර්ශකාංක 57.0 ක් දක්වා ඉහළ යන ලද අතර, මෙමගින්  සෑම වසරකම පාහේ උත්සව සමය තුළ ආර්ථික කටයුතු ඉහළ යෑම මගින් ඇතිවෙන බලපෑම පිළිඹිබු කෙරේ. 2023 මාර්තු මාසයෙන් පසු ප්‍රථම වරට නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය මෙම මාසයේ දී කඩඉම් මට්ටම ඉක්මවා ගිය අතර, ඒ සඳහා සියලුම උප-දර්ශකවල දායකත්වය හේතු විය. 

සේවා ක්‍රියාකාරකම්හි වේගවත් වර්ධනයක් පෙන්නුම් කරමින්, සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2023 නොවැම්බර් මාසයේ දී දර්ශකාංක 59.4ක් වාර්තා කළේය. මේ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම්, සේවා නියුක්තිය සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්හි සිදු වූ ඉහළ යෑම් හේතු විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සමග පවතින විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදු කළ පළමු සමාලෝචනය සම්පුර්ණ කරයි

ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමඟ මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ පළමු සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, එමගින් ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම සඳහා වි.ගැ.හි. මිලියන 254ක (එ.ජ. ඩොලර් මිලියන 337ක් පමණ) මූල්‍යන පහසුකමක් සදහා ශ්‍රී ලංකාවට ප්‍රවේශය හිමිවිය.

මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය සතුටුදායක විය. එක් කාර්ය සාධන නිර්ණායකයක් හැර අනෙකුත් සියලුම නිර්ණායක මෙන්ම, එක් දර්ශක ඉලක්කයක් හැර අනෙකුත් සියලුම දර්ශක ඉලක්ක ද ජූනි මස අවසානයේ දී සපුරා ගන්නා ලදී. 2023 ඔක්තෝබර් මස අග වන විට ව්‍යුහාත්මක මිණුම් දඬු සපුරා ගෙන හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර ඇත. ජා.මූ. අරමුදලේ  පාලන නිර්ණය පිලිබඳ ක්‍රියාවලිය සිදුකළ පළමු ආසියානු රට බවට ශ්‍රී ලංකාව පත්වෙමින්, බලධාරීන් විසින් පාලන නිර්ණ වාර්තාව ප්‍රකාශයට පත් කරන ලදී. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, 2023 නොවැම්බර් 29 වැනි දින හොංකොං හි පැවති මූල්‍ය ස්ථායීතා මණ්ඩලයෙහි ආසියා කලාපීය උපදේශක කණ්ඩායම් රැස්වීමේ සම සභාපතිත්වය දැරීය

මූල්‍ය ස්ථායීතා මණ්ඩල (FSB) ආසියා කලාපීය උපදේශක කණ්ඩායම (RCG Asia) 2023 නොවැම්බර් 29 දින හොංකොං හි !~දී රැස් වූ අතර මෑත කාලීන මූල්‍ය වෙළෙඳපොළ ප්‍රවණතා සහ කලාපයට ඒවායේ බලපෑම, බැංකු නොවන මූල්‍ය අතරමැදිකරණය නිසා ඇතිවන අවදානම් පිළිබඳව සාකච්ඡා කළහ. ඇතැම් නැගී එන වෙළෙඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් (EMDEs) තුළ ස්වෛරී-බැංකු සම්බන්ධය (sovereign bank nexus) ගැඹුරු වීම සහ අතත්‍ය (crypto) වත්කම් ආශ්‍රිත අවදානම් ඵලදායී නියාමනය සහ අධීක්ෂණය ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම, සාමාජිකයින් මෙම අවදානම් හඳුනාගැනීම, අධීක්ෂණය සහ පිළියම් යෙදීම පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම් බෙදාගත් අතර මූල්‍ය පද්ධතිවල ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම කෙරෙහි මූල්‍ය ස්ථායීතා මණ්ඩලයේ අඛණ්ඩ අවධානයෙහි ඇති වැදගත්කම ද සාකච්ඡා කෙරිණි.

හොංකොං මූල්‍ය අධිකාරියේ ප්‍රධාන විධායක සහ RCG Asia හි වත්මන් සාමාජික සම සභාපති එඩි යු මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති සහ RCG Asia හි වත්මන් සාමාජික නොවන සම සභාපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මෙම රැස්වීමේ සම මුලසුන හොබවන ලදී. RCG Asia හි සාමාජිකත්වය ඕස්ට්‍රේලියාව, බෲනායි දරුස්සලාම්, කාම්බෝජය, චීනය, හොංකොං, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, කොරියාව, මැලේසියාව, නවසීලන්තය, පකිස්ථානය, පිලිපීනය, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල මූල්‍ය අධිකාරීන්ගෙන් සමන්විත වේ.

කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2023 නොවැම්බර් මාසයේ දී ඉහළ ගියේය.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ සියයට 1.5හි සිට 2023 නොවැම්බර් මාසයේ දී සියයට 3.4 දක්වා ඉහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම ඉහළ යෑම, 2023 නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ.

අඛණ්ඩව පස්වන වරටත් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර අවධමනයක් වාර්තා වූ අතර, එය 2023 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 5.2ට සාපේක්ෂව 2023 නොවැම්බර් මාසයේ දී සියයට 3.6ක් විය. මේ අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර නොවන උද්ධමනය 2023 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 4.9හි සිට 2023 නොවැම්බර් මාසයේ දී සියයට 6.8 දක්වා ඉහළ ගියේය. 2023 නොවැම්බර් මාසයේ දී කො.පා.මි. දර්ශකයේ මාසික වෙනස, සියයට 1.06ක් ලෙස වාර්තා විය. මේ සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙලින් සියයට 0.12කින් සහ සියයට 0.95කින් ඉහළ යෑම හේතු විය. තවද, ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2023 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 1.2හි සිට 2023 නොවැම්බර් මාසයේ දී සියයට 0.8 දක්වා පහළ ගියේය.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2023 ඔක්තෝබර්

2023 වසරේ ඔක්තෝබර් මාසයේ දී ප්‍රධාන වශයෙන් ඇඟලුම් අපනයනවල අඩු ක්‍රියාකාරිත්වය තුලින් අපනයන ඉපැයීම් පහළ යෑම මෙන්ම ඉන්ධන ආනයන වියදම් ඉහළ යෑම තුලින් ආනයන වියදම් ඉහළ යෑම හේතුවෙන් වෙළඳ හිඟය 2022 වසරේ ඔක්තෝබර් මාසයට මෙන්ම 2023 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව පුළුල් විය. 

2023 වසරේ ඔක්තෝබර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එ.ජ. ඩොලර් මිලියන 500 ඉක්ම වූ අතර, සංචාරක ඉපැයීම් පෙර වසර සමඟ සසඳන විට 2023 වසරේ ඔක්තෝබර් මාසයේ දී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළේය.

2023 වසරේ ඔක්තෝබර් මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශ ආයෝජන අඛණ්ඩව ශුද්ධ ගෙවීමක් වාර්තා  කල ද  වසරේ මේ දක්වා ශුද්ධ ලැබීම් වාර්තා කර ඇත.

2023 වසරේ ඔක්තෝබර් මාසය අවසාන වන විට දළ නිල සංචිත ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 3.6ක් විය.

2023 වසරේ ඔක්තෝබර් මාසය තුළ දී ශ්‍රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට සාපේක්ෂව පුළුල් ලෙස ස්ථාවරව පැවතුණි.

Pages

නිවේදන