Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී ආයතනයේ තැන්පත්කරුවන්ට රක්ෂණ වන්දි මුදල් ගෙවීම - දෙවැනි අදියර

ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයේ තැන්පත්කරුවන් වෙත රක්ෂණ වන්දි ගෙවීමේ වැඩසටහනෙහි දෙවැනි අදියර 2020.07.02 වැනි දින සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා ඇත. එම ගෙවීම් එදින සිට දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛා 63ක් මගින් සිදු කෙරෙනු ඇත. මෙම රක්ෂණ වන්දි ගෙවීමේ ක්‍රමවේදය යටතේ එක් තැන්පත්කරුවෙකු සඳහා ගෙවනු ලබන උපරිම මුදල රුපියල් 600,000/-කි.

මෙම දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීමත් සමඟ ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. විසින් ගෙවීම් තහවුරු කරනු ලැබූ අනෙකුත් සියලු ම තැන්පත්කරුවන්ට ගෙවීම් කිරීම 2020.07.02 දින සිට ආරම්භ කරනු ඇත. 

බැංකු නො වන මූල්‍ය ආයතන නියාමනය හා අධීක්ෂණය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශය

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ලියාපදිංචි වු බලපත්‍රලාභී මූල්‍ය සමාගම් කිහිපයක අසාර්ථකත්වය සහ පසු ව බලපත්‍රය අහෝසි කිරීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැවරූ මාධ්‍ය වාර්තා කිහිපයක් මෑත කාලීන ව නිරීක්ෂණය විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික පරමාර්ථයක් වන මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීම සහ බලපත්‍රලාභී මුදල් සමාගම්වල ස්ථායිතාව ශක්තිමත් කිරීම සහතික කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී මුදල් සමාගම් නියාමනය සහ අධීක්ෂණය කරනු ලැබේ. අවම ප්‍රාග්ධනය, අවම ද්‍රවශීලතාව සහ ප්‍රතිපාදන වෙන් කිරීම්, කේන්ද්‍රගත වීමේ අවධානම (Concerntration Risk) සහ සාංගමික යහපාලන අවශ්‍යතා (Corporate Governance Requirements) මගින් එම ස්ථායිතාව සහතික කරනු ලැබේ.

වසංගත සමයේ මහ බැංකු මෙහෙවර සහ එමගින් මහජනතාවට ලැබුණු සහන හා ප්‍රතිලාභ: කොවිඩ් -19 අභියෝගය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කළේ මොනවා ද?

කොවිඩ්-19 ගෝලීය වසංගතයේ අභියෝගය සාර්ථකව මැඩ පැවැත්වීම සඳහා වූ රජයේ පැහැදිලි හා කඩිනම් වැඩපිළිවෙල සමග එක් වූ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම ගෝලීය වසංගතයෙන් ආර්ථිකයට එල්ල වන දැඩි බලපෑම අවම කිරීම සඳහා කඩිනම් වූත්, තිරසාර වූත් පිළියම් සහ පියවර රැසක් හඳුන්වා දෙන ලදි. ශ්‍රී ලංකා මහ බැංකුවේ එම ක්ෂණික ධනාත්මක ප්‍රතිචාරය, ලොව පුරා මහ බැංකුවල ක්‍රියාකාරකම් පිළිබඳව නිරන්තර විමසුමෙ‍න් සිටින ජාත්‍යන්තර මාධ්‍ය මගින් පවා පැසසුමට ලක් කරනු ලැබිණි. උදාහරණ වශයෙන් “කොරෝනා වයිරසයෙන් මූල්‍ය වෙළඳපොළට සිදු වන බලපෑම් හඳුනාගෙන ජනතාවට සහන සැලසීම සඳහා මුලින් ම ප්‍රතිපත්තිමය පොලී අනුපාතික අඩු කළ මහ බැංකුව” ලෙස “www.centralbanknews.info” වැනි මාධ්‍ය විසින් ශ්‍රී ලංකා මහ බැංකුව නම් කර තිබීම දැක්විය හැකි ය.   

මහ බැංකුව කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර සඳහා 4%ක පොලී අනුපාතිකයක් යටතේ ව්‍යාපාර 13,861ක් සඳහා රුපියල් බිලියන 28ක මුදලක් අනුමත කරයි

කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර පුනර්ජීවනය කිරීම හා රටේ ආර්ථික කටයුතු යළි ගොඩ නැංවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, රජය හා එක්ව සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය යටතේ නවමු ව්‍යාපෘතියක් ලෙස “සෞභාග්‍යා COVID – 19 පුනරුද සහන“ ප්‍රතිමූල්‍ය පහසුකම 2020 මාර්තු මස 24 වන දින ප්‍රකාශයට පත් කළේය.

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 මැයි මාසයේ දී තවදුරටත් පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 අප්‍රේල් මාසයේ පැවති සියයට 5.9හි සිට 2020 මැයි මාසයේ දී සියයට 5.2 දක්වා තවදුරටත් පහළ ගියේ ය. 2019 මැයි මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. මේ අතර, 2020 අප්‍රේල් මාසයේ දී සියයට 12.2හි පැවති ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 මැයි මාසයේ දී සියයට 11.1 දක්වා පහළ ගිය අතර, ආහාර නො වන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය ද, 2020 අප්‍රේල් මාසයේ දී පැවති සියයට 1.1හි සිට 2020 මැයි මාසයේ දී සියයට 0.8 දක්වා පහළ ගියේ ය.  

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2020 අප්‍රේල්

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ආර්ථිකයට සිදු වූ බාධාවන් හමුවේ 2020 වසරේ අප්‍රේල් මාසයේ දී  ශ්‍රී ලංකාවේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය දැඩි බලපෑමකට ලක් විය.  2020 වසරේ අප්‍රේල් මාසයේ දී සංචාරක පැමිණීම් නවතා දැමුණු අතර, සමාජ හා ආර්ථික කටයුතු අර්ධ වශයෙන් සීමා කිරීමෙන් ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන අංශයට සැලකිය යුතු ලෙස බලපෑමක් ඇති විය. ආනයන ආශ්‍රිත සැපයුම් දාමයන්ට බාධාවන් සිදු වීම සහ රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අත්‍යවශ්‍ය නො වන ආනයන සඳහා පනවා ඇති සීමා කිරීම් සමඟ වෙළෙඳ  භාණ්ඩ ආනයන වියදම් ද අඩු විය. සමාජ හා ආර්ථික කටයුතු සීමා කිරීමට පෙර සංක්‍රමණික සේවකයින් පිරිසක් නැවත මෙරටට පැමිණීම සහ විදේශයන්හි සිටින සමහර සංක්‍රමණික සේවකයින්ට ලබා දෙන වන්දි අඩු කිරීම සහ රැකියා අහිමි කිරීම් සමඟ මාසය තුළ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සැලකිය යුතු ලෙස පහත වැටුණි. මුල්‍ය ගිණුම තුළ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි විදේශීය ආයෝජන ශුද්ධ ගෙවීමක් වාර්තා වූ අතර, කොළඹ කොටස්  වෙළෙඳපොළ 2020  වසරේ අප්‍රේල් මාසය පුරා ම වසා දමා තිබුණි. වැඩි අවිනිශ්චිතතාවන් සහ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ වෙත ප්‍රමාණවත් ලැබීම් නොමැති වීම හමුවේ ශ්‍රී ලංකා රුපියල 2020 වසරේ අප්‍රේල් මාසයේ පළමු භාගයේ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ ව සැලකිය යුතු ලෙස අවප්‍රමාණය විය. කෙසේ වෙතත්, වෙළෙඳපොළ අපේක්ෂා වැඩිදියුණු වීමත් සමඟ මාසයේ දෙවන භාගයේ සිට රුපියල ක්‍රමයෙන් ස්ථාවර වීමට පටන් ගත්තේ ය. ඉන් පසු ව විනිමය අනුපාතිකය අතිප්‍රමාණය වීම,  වසර තුළ මේ දක්වා ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම සියයට 3කට වඩා අඩු වීමට උපකාරී විය.

Pages