කො.පා.මි.ද. මත පදනම් වූ උද්ධමනය 2021 මැයි මාසයේ දී සියයට 4.5 දක්වා ඉහළ යන ලදී

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 අප්‍රේල් මාසයේ පැවති සියයට 3.9හි සිට 2021 මැයි මාසයේ දී සියයට 4.5 දක්වා ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 අප්‍රේල් මාසයේ පැවති සියයට 9.0හි සිට 2021 මැයි මාසයේ දී සියයට 9.9 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 අප්‍රේල් මාසයේ පැවති සියයට 1.8හි සිට 2021 මැයි මාසයේ දී සියයට 2.2 දක්වා ඉහළ ගියේය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි. දර්ශකයෙහි වෙනස 2021 මැයි මාසයේ දී සියයට 3.9හි නොවෙනස්ව පැවතුණි.

2021 මැයි මාසයේ දී කො.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 1.05ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. තවද, ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල මාසික වෙනස්වීම් පිළිවෙළින්, සියයට 0.69ක් සහ සියයට 0.36ක් ලෙස වාර්තා විය. ඒ අනුව, ආහාර කාණ්ඩයේ නැවුම් මත්ස්‍ය, පොල්තෙල් සහ සහල් මිල ගණන් ඉහළ ගිය අතර, පලතුරු සහ එළවළු මිල ගණන්හි පහළ යෑමක් වාර්තා විය. මේ අතර, සෞඛ්‍ය (වෛද්‍ය රසායනාගාර ගාස්තු, පෞද්ගලික රෝහල්/ සාත්තු නිවාස ගාස්තු) සහ නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන ( නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, එල්.පී.ගෑස්) යන උප කාණ්ඩවල මිල ගණන් ඉහළ යෑම් හේතුවෙන්, ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි ඉහළ යෑමක් වාර්තා විය.

ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන වාර්ෂික ලක්ෂ්‍යමය මූලික උද්ධමනය, 2021 අප්‍රේල් මාසයේ දී පැවති සියයට 3.0හි සිට 2021 මැයි මාසයේ දී සියයට 3.2ක් දක්වා ඉහළ ගියේය. මීට අමතරව, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2021 මැයි මාසයේ දී අඛණ්ඩව සිව්වන මාසයටත් සියයට 3.0හි නොවෙනස්ව පැවතුණි.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Monday, May 31, 2021