Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

සාර්ව විචක්ෂණ ප්‍රතිපත්ති රාමුව ප්‍රකාශයට පත් කිරීම

ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 63(2) වගන්තියට අනුව මහ බැංකුව විසින් සාර්ව විචක්ෂණ ප්‍රතිපත්ති රාමුව (Macroprudential Policy Framework) ප්‍රකාශයට පත් කර ඇත. සාර්ව විචක්ෂණ ප්‍රතිපත්ති සැකසීමේ ක්‍රියාවලිය සහ මූල්‍ය පද්ධතිය තුළ සාර්ව විචක්ෂණ ප්‍රතිපත්තියේ කාර්යභාරය පිළිබඳව අදාළ පාර්ශවකරුවන් දැනුවත් කිරීම මෙම ප්‍රකාශනයෙහි අරමුණ වේ.

සාර්ව විචක්ෂණ ප්‍රතිපත්තිවල අරමුණු සහ කාර්යභාරය; පද්ධතිමය අවදානම සහ එය නිරීක්ෂණය කළ හැකි දර්ශක; සාර්ව විචක්ෂණ මෙවලම් (Macroprudential Tools); මහ බැංකුවේ අනෙකුත් ප්‍රතිපත්ති සමඟ අන්තර්ක්‍රියාකාරිත්වය; ආයතනික සැකැස්ම (Institutional Set-Up); සහ මහ බැංකුව විසින් සාර්ව විචක්ෂණ ස්ථාවරය/පද්ධතිමය අවදානම් ප්‍රවණතාවයන් සන්නිවේදනය කරන ආකාර පිළිබඳ පැහැදිලි කිරීම් මෙම ලේඛනයෙහි අන්තර්ගත වේ .ශ්‍රී ලංකාවේ සාර්ව විචක්ෂණ අධිකාරිය ලෙස මහ බැංකුවේ සාර්ව විචක්ෂණ ප්‍රවේශය පිළිබඳ තොරතුරු සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන්ට මෙම ප්‍රකාශනය ප්‍රයෝජනවත් සහ විශ්වාසනීය මූලාශ්‍රයක් වනු ඇත.

සාර්ව විචක්ෂණ ප්‍රතිපත්ති රාමුවේ විද්‍යුත් පිටපතක් මහා බැංකු වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැක.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2024 ජනවාරි

2024 වසරේ ජනවාරි මාසයේ දී, වෙළඳ ගිණුමේ හිඟය ප්‍රධාන වශයෙන් ආනයන වියදම ඉහළ යෑම හේතුවෙන් පුළුල් විය.

සේවා වෙළඳාම සම්බන්ධයෙන් ගත් කළ, 2023 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව, 2024 වසරේ ජනවාරි මාසයේ දී මුහුදු ප්‍රවාහන, ගුවන් ප්‍රවාහන සහ තොරතුරු තාක්ෂණය හා ව්‍යාපාර ක්‍රියාවලි බාහිර මූලාශ්‍ර වෙත පැවරීම යන සේවාවන් සඳහා කැපී පෙනෙන ලැබීම් නිරීක්ෂණය විය. මේ අතර, ගෙවීම් වශයෙන් මුහුදු ප්‍රවාහන, ගුවන් ප්‍රවාහන සහ වෘත්තීය සහ කළමනාකරණ උපදේශන සේවාවන් වාර්තා විය.

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2024 වසරේ ජනවාරි මාසයේ දී පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව ඉහළ යෑමක් වාර්තා කර ඇත.

2024 වසරේ ජනවාරි මාසයේ දී සංචාරක ඉපැයීම් 2020 වසරේ ජනවාරි මාසයෙන් පසුව වාර්තා වූ ඉහළම මාසික අගය වාර්තා කර ඇත.

2024 වසරේ ජනවාරි මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශ ආයෝජන ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.

2024 වසරේ ජනවාරි මස අවසානය වන විට දළ නිල සංචිත එ. ජ. ඩොලර් බිලියන 4.5ක් දක්වා අඛණ්ඩව වර්ධනය වූ අතර 2024 වසරේ පෙබරවාරි මස 29 දක්වා කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා රුපියල සියයට 4.4කින් අතිප්‍රමාණය විය.

කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2024 පෙබරවාරි මාසයේ දී පහළ ගියේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 ජනවාරි මාසයේ වාර්තා වූ සියයට 6.4හි සිට 2024 පෙබරවාරි මාසයේ දී සියයට 5.9 දක්වා පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ.

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2024 ජනවාරි මාසයේ පැවති සියයට 3.3හි සිට 2024 පෙබරවාරි මාසයේ දී සියයට 3.5 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර නොවන උද්ධමනය 2024 ජනවාරි මාසයේ පැවති සියයට 7.9හි සිට 2024 පෙබරවාරි මාසයේ දී සියයට 7.0 දක්වා පහළ ගියේය. ආහාර කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ සියයට 0.67ක මිල පහළ යෑමේ සහ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ සියයට 0.62ක මිල ඉහළ යෑමේ ඒකාබද්ධ බලපෑම හේතුවෙන් 2024 පෙබරවාරි මාසයේ දී කො.පා.මි. දර්ශකයේ මාසික වෙනස සියයට -0.05ක් ලෙස වාර්තා විය. තවද, ආර්ථිකයේ යටිදැරි උද්ධමන ප්‍රවණතා පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2024 ජනවාරි මාසයේ පැවති සියයට 2.2හි සිට 2024 පෙබරවාරි මාසයේ දී සියයට 2.8 දක්වා ඉහළ ගියේය.

ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2024 ජනවාරි

ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2024 ජනවාරි මාසයේ දී දර්ශකාංක 52.9ක් වාර්තා කළ අතර, එමගින් ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. 2022 ජනවාරි මාසයෙන් පසුව මෙම දර්ශකය කඩඉම් මට්ටම අභිබවා ගිය ප්‍රථම අවස්ථාව මෙය වේ. නව ඉදිකිරීම් කටයුතුවල ක්‍රමික වර්ධනයක් මෙන්ම අත්හිටුවා තිබූ ඇතැම් ව්‍යාපෘති ජනවාරි මාසය තුළදී සීමිත වශයෙන් නැවත ආරම්භ කිරීමක් ද දක්නට ලැබුණු බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහොමයක් දෙනා සඳහන් කළහ.

නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳ ව මහ බැංකුවේ පැහැදිලි කිරීම

2024-2026 කාලපරිච්ඡේදයට අදාළ ව වෘත්තීය සංගම් සමග එළඹුණු ත්‍රෛවාර්ෂික සාමූහික ගිවිසුම යටතේ පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද ශ්‍රී ලංකා මහ බැංකු සේවකයන්ගේ අවසන් වරට සිදු කළ වැටුප් සංශෝධනය පිළිබඳ ව ඇතැම් පාර්ලිමේන්තු සාමාජිකයන් විසින් පසු ගිය දින කිහිපයේ දී පාර්ලිමේන්තු සභාවාරයන්හි දී දක්වන ලද අදහස් සහ ප්‍රකාශ පිළිබඳ ව මාධ්‍යයන්හි විවිධ පුවත් පළ වී ඇති අයුරු ශ්‍රී ලංකා මහ බැංකුව නිරීක්ෂණය කර ඇත.

ඉඩම් තක්සේරු දර්ශකය - 2023 වසරේ දෙවන භාගය

කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2023 වසරේ දෙවන භාගයේ දී සියයට 7.1 ක සාපේක්ෂව අඩු වාර්ෂික වර්ධන වේගයක් වාර්තා කරන ලදී. සමස්ත ඉඩම් තක්සේරු දර්ශකයෙහි දක්නට ලැබුණු මෙම මන්දගාමීත්වය නේවාසික, වාණිජ හා කාර්මික යන එහි අනු දර්ශක තුනෙහි ම දක්නට ලැබුණු අතර එම දර්ශක පිළිවෙලින් සියයට 8.8, 6.7 සහ 5.9ක වර්ධනයන් වාර්තා කරන ලදී. අර්ධ වාර්ෂික පදනමින් ද මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කරමින් ඉඩම් තක්සේරු දර්ශකය 2023 වසරේ පළමු භාගයට සාපේක්ෂව දෙවන භාගයේ දී සියයට 2.1 ක සුළු වර්ධනයක් වාර්තා කරන ලදී. මේ සඳහා 2023 වසරේ පළමු භාගයට සාපේක්ෂව දෙවන භාගයේ දී කාර්මික අනු දර්ශකය අඩු වේගයකින් වර්ධනය වීම ප්‍රධාන වශයෙන් බලපෑ අතර වාණිජ හා නේවාසික අනු දර්ශකවල අඩු වර්ධනය ද තවදුරටත් හේතු විය.

Pages

නිවේදන