• Views of the Central Bank of Sri Lanka on the National Payment Platform

    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) හා ටෝටල් පේ ආයතනය පිළිබඳ ව මාධ්‍ය මගින් පළ වූ තොරතුරු සහ ජාතික ගෙවීම් වේදිකාව සම්බන්ධයෙන් පවත්නා තත්ත්වය පිළිබඳ ව නිවැරදි අවබෝධයක් ලබා දීම සඳහා පොදු මහජනතාවට කරුණු පැහැදිලි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව බලාපොරොත්තු වේ.

  • Regulatory Action on a Primary Dealer - Pan Asia Banking Corporation PLC

    ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, 2017 අගෝස්තු මස 14 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සීහි ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2017 අගෝස්තු මස 15 වැනි දින පෙරවරු 10.00 සිිට බල පැවැත්වෙන පරිදි මාස හයක (6) කාල සීමාවක් සඳහා අත්හිටුවීමට තීරණය කරන ලදි. 

    පෑන් ඒෂියා බැංකුව විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සමඟ සිදු කරන ලද ගනුදෙනුවලට අදාළ ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද විමර්ශන මත පදනම් ව මෙම නියාමන ක්‍රියාමාර්ගය ගෙන ඇත. 

  • Concessions on Loans Granted to Flood Affected Borrowers

    මෑත දී ඇති වූ ගංවතුර, අයහපත් කාලගුණික තත්ත්ව සහ ඊට සම්බන්ධ සිද්ධීන් නිසා හානියට පත් ණය ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපාර කටයුතු යළි නඟා සිටුවීම හා ජීවන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කරලීම උදෙසා ඒ ඒ අවස්ථානුකූල ව සහන ලබා දීමට සියළු ම බලපත්‍රලාභී බැංකු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අවසර ලබා දී ඇත. 

    ඒ අනුව බැංකුවලට පහත අයුරින් කටයුතු කළ හැක.

    • 2017 මැයි මස 25 වැනි දින තෙක් පැවැති සක්‍රීය ණය පහසුකම් සඳහා මාස 3කට නො වැඩි සහන ක‍ාලයක් එකී ගනුදෙනුකරුවන් වෙත ලබා දීම
    • එම කාලයට අදාළ දඩ පොලී කපා හැරීම

    මහ බැංකුවට දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව එම ගංවතුර තත්ත්වයෙන් හානියට පත් වූ ගනුදෙනුකරුවන් විශාල සංඛ්‍යාවක් මේ සම්බන්ධ ව දැනුම්වත් වී නොමැති බැවින් මෙම සහන ලබා ‍ගෙන නැත. එම නිසා අදාළ ගනුදෙනුකරුවන් තමාගේ ළඟ ම ඇති බැංකු ශාඛාවෙන් මේ සම්බන්ධ ව වැඩිදුර තොරතුරු ලබා ගන්නා මෙන් දන්වා සිටී. 

  • The Financial Intelligence Unit-Sri Lanka enters into Memorandum of Understanding with the Financial Intelligence Unit of the Kingdom of Bhutan and China AML Monitoring and Analysis Centre

    2006 අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය භූතාන සහ චීන මූල්‍ය බුද්ධි ඒකකයන් සමඟ 2017 ජූලි 17 - 21 දිනයන්හි දී කොළඹ දී පැවැති මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ විසි වැනි වාර්ෂික සමුළුවේ දී අවබෝධතා ගිවිසුම්වලට එළැඹිණි. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීමට අදාළ ව පරීක්ෂණ සහ නඩු පැවරීම්වලට අදාළ මූල්‍ය තොරතුරු හුවමාරු කර ගැනීම මෙම අවබෝධතා ගිවිසුම්වලට එළඹීමේ මූලික පරමාර්ථය වේ. ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය එච් අමරතුංග මහතා චීන මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලුවෝ යුබිං මහත්මිය සහ භූතාන මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති මූල්‍ය බුද්ධි ඒකකයේ ප්‍රධානි නාජෝ ඩෝජි මහතා සමඟ මෙම අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තබන ලදී. 

  • Monetary Policy Review - No. 5 of 2017

    දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2017 අගෝස්තු මස 2 වැනි දින පැවැති රැස්වීමේ දී මුදල් මණ්ඩලයෙහි අදහස වූ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේ ය. 

    ඉහත තීරණය ගැනීමෙහි ලා පවතින සහ අපේක්ෂිත දේශීය හා විදේශීය සාර්ව ආර්ථික වාතාවරණය මෙන් ම මැදකාලීන ව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ පවත්වා ගැනීමේ අවශ්‍යතාව මුදල් මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබී ය. 

  • 20th Annual Meeting of the Asia/Pacific Group on Money Laundering, Colombo, Sri Lanka, July 15-21, 2017

    මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ විසි වැනි වාර්ෂික සමුළුව සාමාජික රටවල් 41ක නියෝජිතයන් 408ක් සහ විවිධ අන්තර්ජාතික නිරීක්ෂණ සංවිධාන රැසක නියෝජිතයන් 24කගේ සහභාගීත්වයෙන් 2017 ජූලි මස 15 සිට 21 දක්වා කොළඹ දී පවත්වන ලදි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු මංගල සමරවීර මැතිතුමන් සහභාගී විය. 

    මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම සහ වංචා හා දූෂණ ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අනෙකුත් වැරැදි ක්‍රියා වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව ජාතික වශයෙන් කැප වී ක්‍රියා කරන බවට අතිගරු ජනාධිපතිතුමන් සහ ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමන් මෙහි දී අවධාරණය කරන ලදි. තව ද, මේ සඳහා කැප වී වැඩ කරන දේශීය මෙන් ම විදේශීය පාර්ශ්වයන් අතර ශක්තිමත් සහයෝගීතාවක් පවත්වා ගැනීමේ ඇති අවශ්‍යතාව ද අතිගරු ජනාධිපතිිතුමන් විසින් මෙහි දී අවධාරණය කෙරිණි. 

  • External Sector Performance – May 2017

    2017 මැයි මාසයේ දී සිදු කරන ලද 11 වැනි ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව සහ ඒකාබද්ධ ණය පහසුකම තුළින් වූ ලැබීම් සමඟ ගෙවුම් තුලනයෙහි මූල්‍ය ගිණුම වෙත වූ සැලකිය යුතු ලැබීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශීය අංශය ශක්තිමත් විය. 2017 අප්‍රේල් මස අවසානය වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 5.0ක් වූ දළ නිල සංචිත 2017 මැයි මස අවසානය වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 6.8ක් දක්වා ඉහළ යෑමට මෙම ලැබීම් හේතු විය. රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ සහ කොළඹ කොටස් හුවමාරුව වෙත වූ අඛණ්ඩ ලැබීම් සමඟ ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි ආයෝජකයන්ගේ විශ්වාසය අඛණ්ඩ ව වර්ධනය විය. කෙ සේ වෙතත්, වෙළෙඳ හිඟය පුළුල් වීම සහ සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් මධ්‍යස්ථ මට්ටමක පැවතීම හේතුවෙන් ගෙවුම් තුලනයෙහි ජංගම ගිණුම මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පිළිබිඹු කළේ ය. අපනයන ආදායම අඛණ්ඩ ව තුන් වැනි මාසයටත් ඉහළ ගිය ද, ආනයන වියදමෙහි ඉහළ වැඩිවීම හේතුවෙන් වෙළෙඳ හිඟය තවදුරටත් පුළුල් විය.

  • New Primary Issuance System for Treasury Bonds

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර සඳහා නව ප්‍රාථමික නිකුතු ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබේ. 2015 පෙබරවාරි මාසයේ සිට භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ක්‍රියාත්මක වූ සම්පූර්ණ වෙන්දේසි ක්‍රමය මත පදනම් වූ නිකුත් කිරීමේ ක්‍රමය වෙනුවට 2017 ජූලි 27 වැනි දින සිට මෙම නව ක්‍රමය බල පැවැත්වේ. නව ක්‍රමය හඳුන්වා දීමේ ප්‍රධාන පරමාර්ථය වනුයේ රජයේ දේශීය ණය ගැනීම්හි කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය තවදුරටත් වර්ධනය කිරීමයි. 

    නව ක්‍රමය, වඩා ව්‍යුහගත ක්‍රමයක් වන අතර ඊට ක්‍රමවත් ලෙස සැලසුම් කළ බැඳුම්කර නිකුතූන් ඇතුළත් වේ. සෑම මාසික නිකුතුවක දී ම විවිධ කල්පිරීම් කාල සහිත භාණ්ඩාගාර බැඳුම්කර කාණ්ඩ දෙකක් ඉදිරිපත් කෙරෙන අතර එම කාණ්ඩවල පරිණතීන් වෙළෙඳපොළ තුළ පවතින සම්පත් හා ගැලපීම අපේක්ෂා කෙරේ. 

  • Statement Issued by the Central Bank of Sri Lanka on the Leakage of Customer Information by Hatton National Bank PLC

    ශ්‍රී ලංකා මහ බැංකුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කළ අතර, දැනට ලැබී ඇති තොරතුරු අනුව ගනුදෙනුකරුවන් 4,630කට අදාළ යම් බැංකු තොරතුරු අතපසුවීමකින් නිකුත් වී ඇති බව මහජනතාව වෙත දන්වා සිටී. තව ද, මෙම සිදුවීම හැටන් නැෂනල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට අදාළ තොරතුරු භාවිතය සහ කළමනාකරණය සම්බන්ධ අභ්‍යන්තර දුර්වලතා හේතු කොට ගෙන සිදු වී ඇති බව පෙනී යයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව මගින් තව දුරටත් පරීක්ෂණ සිදු කෙරේ.

    ඒ අනුව, ඉහත සිද්ධියට අදාළ වගකිව යුත්තන්ට එරෙහි ව ක්‍රියා කිරීම සඳහා පවතින නීතිමය ප්‍රතිපාදන සහ අධීක්ෂණ සම්මුතීන්ට අනුව අතුරු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇත. 

  • Inflation in June 2017

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 මැයි මාසයේ දී වාර්තා ක‍ළ සියයට 7.1 හි සිට 2017 ජූනි මාසයේ දී සියයට 6.3 දක්වා පහළ ගියේ ය. 2017 ජූනි මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2017 ජූනි මාසයේ දී පසුගිය මාසයේ දී පැවැති සියයට 6.1 හි නො වෙනස් ව පැවැතුණි.

Pages