ප්‍රධාන වශයෙන් වෙළඳ හිඟය අඩු වීම සහ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල සැලකිය යුතු වැඩිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශීය අංශය 2021 ජනවාරි මාසයේ දී අංශ ගණනාවක් ඔස්සේ තවදුරටත් යථා තත්ත්වයට පත් විය. 2020 ජනවාරි මාසයට සාපේක්ෂව 2021 ජනවාරි මාසයේදී වෙළඳ ගිණුමේ හිඟය අඩුවීම, වෙළඳ භාණ්ඩ අපනයනයහෙි පහළ වැටීම අභිබවා වෙළඳ භාණ්ඩ ආනයන පහළ වැටීමේ ප්‍රතිඵලයකි. මේ අතර, විදේශීය ජංගම ගිණුම ශක්තිමත් කරමින් සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2021 ජනවාරි මාසයේදී සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළේ ය. මූල්‍ය ගිණුම සැලකීමේදී , 2021 ජනවාරි මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන සුළු ලැබීමක් වාර්තා වූ අතර, කොළඹ කොටස් වෙළඳපොළ වෙතින් ශුද්ධ ගෙවීම් වාර්තා විය. 2021 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමේ පීඩනයකට ලක් වුව ද, මහ බැංකුව විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග සහ රජය විසින් අත්‍යවශ්‍ය නොවන ආනයන සදහා වන සීමාවන් අඛණ්ඩව පවත්වාගෙන යෑම මෙම පීඩනය පාලනය කිරීමට උපකාරී විය.
-
External Sector Performance - January 2021
-
Launching of the First-ever National Financial Inclusion Strategy of Sri Lanka
ශ්‍රී ලංකාව සඳහා වන මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ප්‍රථම ජාතික උපාය මාර්ගය අද දින, එනම් 2021.03.04, එළිදක්වන ලදී. මෙම එළිදැක්වීම, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, දේශමාන්‍ය, මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මැතිතුමන් විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපායමාර්ගය පිළිගැන්වීම තුළින් සංකේතාත්මකව සනිටුහන් කරන ලදී. මෙම අවස්ථාවට මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් අතිගරු ඩේවිඩ් හොලී මහතා සහ අන්තර්ජාතික මූල්‍ය සංස්ථාවේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් නියෝජිත අමීනා අරිෆ් මහත්මිය සහභාගී වූහ.
-
The Central Bank of Sri Lanka Reaffirms its Commitment to Continue the Current Accommodative Monetary Policy Stance
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 මාර්තු මස 03 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. දේශීය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්ත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන් මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. මෑතක දී පෞද්ගලික අංශයට සපයන ලද ණය මන්දගාමී වීම සහ ආර්ථිකයේ ඵලදායී අංශවලට ණය ලබා දීම ප්‍රමාණවත් නොවීම මුදල් මණ්ඩලය නිරීක්ෂණය කළ අතර දේශීය නිෂ්පාදන මත පදනම් වූ ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වීම සඳහා සහාය වීමට මූල්‍ය පද්ධතිය මගින් ඵලදායී අංශ සඳහා සක්‍රීයව ණය ලබා දීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි. තවද, මෑතකදී ඇතැම් වෙළඳපොළ පොලී අනුපාතිකවල ඉහළ යෑම මුදල් මණ්ඩලය විසින් නිරීක්ෂණය කරන ලද අතර, අඩු උද්ධමනයක් පවතින වාතාවරණය තුළ, ආර්ථිකය තිරසාර ලෙස යථා තත්ත්වයට පත්වීමේ සලකුණු පෙන්වන තෙක් අඩු පොලී අනුපාතික ව්‍යුහය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා වූ කැපවීම මුදල් මණ්ඩලය විසින් යළිත් අවධාරණය කරයි.
-
Land Valuation Indicator - Second Half of 2020
කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2020 වසරේ දෙවන භාගයේ දී සියයට 4.6ක වාර්ෂික වර්ධනයක් සමඟ 145.2ක අගයක් වාර්තා කළේ ය. එසේ වුව ද, ඉඩම් තක්සේරු දර්ශකයෙහි වාර්ෂික වර්ධනය පසුගිය කාල පරිච්ඡේදයන්හි දක්නට ලැබුණු පහළ යෑමේ ප්‍රවණතාවට අනුකූල විය. තව ද, 2020 වසරේ පළමු භාගයට සාපේක්ෂ ව 2020 වසරේ දෙවන භාගයේ දී ඉඩම් තක්සේරු දර්ශකය සියයට 2.5කින් වර්ධනය වී ඇත.
-
CCPI based Inflation increased to 3.3 per cent in February 2021
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2021 ජනවාරි මාසයේ පැවති සියයට 3.0හි සිට 2021 පෙබරවාරි මාසයේ දී සියයට 3.3 දක්වා ඉහළ ගියේ ය. ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහි ම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජනවාරි මාසයේ පැවති සියයට 6.8හි සිට 2021 පෙබරවාරි මාසයේ දී සියයට 7.9 දක්වා ඉහළ ගියේ ය. එසේ වුවද, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජනවාරි මාසයේ පැවති සියයට 1.4හි සිට 2021 පෙබරවාරි මාසයේ දී සියයට 1.3 දක්වා සුළු වශයෙන් පහළ ගියේ ය.
-
The Central Bank of Sri Lanka issues Circulation Standard Commemorative Coin to Mark its 70th Anniversary
1950 අගෝස්තු මාසයේ දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකාවේ සමෘද්ධිය උදෙසා සුවිශේෂී හා වටිනා දායකත්වයක් ලබා දෙමින් වසර 70 ක් සම්පූර්ණ කර ඇත. සිය 70 වන සංවත්සරය සංකේතවත් කරමින් මුහුණත වටිනාකම රුපියල් 20 ක් වන සංසරණය සඳහා නොවන සමරු කාසියක් (ඇලුමිනියම් - ලෝකඩ) 2020 දෙසැම්බර් 31 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලදී. එයට සමගාමීව, සමාන නිර්මාණ සැලැස්මක් සහිත මුහුණත වටිනාකම රුපියල් 20 ක් වන සංසරණය සඳහා භාවිතා කරනු ලබන සමරු කාසියක් (නිකල් ආලේපිත වානේ) නිකුත් කිරීමට ද ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. කාසිය පිළිබඳ විස්තර හා පිරිවිතර පහතින් සවිස්තරව දැක්වේ.
-
Repatriation and Conversion of Export Proceeds: Why are these measures needed?
2021 පෙබරවාරි මස 18 වන දින මුදල් මණ්ඩලය විසින්, අපනයන මගින් උපයන ලද මුදල් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීම හා එකී මුදල් ශ්‍රී ලංකා රුපියල්වලට හුවමාරු කිරීමට අදාළ රීති ප්‍රකාශයට පත් කළ අතර, මේ සම්බන්ධයෙන් මෙහෙයුම් උපදෙස් බලපත්‍රලාභි බැංකු වෙත නිකුත් කරන ලදී. අපනයන මගින් උපයන ලද මුදල් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් දැනට පවතින රීතිවලට අමතරව ඉහත රීති සහ මෙහෙයුම් උපදෙස් නිකුත් කර ඇති අතර, ඒ්වා නිකුත් කරනු ලැබුවේ රටෙහි විදේශ විනිමය තත්ත්වය ශක්තිමත් කිරීම සහ විනිමය අනුපාතයේ අධික විචලන සඳහා හේතුවන සමපේක්ෂණ ක්‍රියාකාරකම් සීමා කිරීම සඳහා ය.
-
NCPI Based Inflation Decreased in January 2021
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 දෙසැම්බර් මාසයේ පැවති සියයට 4.6හි සිට 2021 ජනවාරි මාසයේ දී සියයට 3.7 දක්වා පහළ ගියේ ය. 2020 ජනවාරි මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 දෙසැම්බර් මාසයේ දී පැවති සියයට 7.5හි සිට 2021 ජනවාරි මාසයේ දී සියයට 5.9 දක්වා පහළ ගියේ ය. තව ද, ආහාර නො වන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 දෙසැම්බර් මාසයේ පැවති සියයට 2.2හි සිට 2021 ජනවාරි මාසයේ දී සියයට 1.8 දක්වා පහළ ගියේ ය.
-
Repatriation of Export Proceeds into Sri Lanka
2021 පෙබරවාරි මස 18 වන දිනැති අංක 2215/39 දරන රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධියට පත් කරනු ලැබ ඇති පරිදි, අපනයනය මඟින් ලද මුදල් ශ්‍රී ලංකාව වෙත ලැබීම හා එකී මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමට අදාළ රීතීන්, මුදල් මණ්ඩලය මඟින් නිකුත් කර ඇත.
ඒ අනුව, නැවත දැනුම් දෙන තුරු, පහත රීතීන් 2021 පෙබරවාරි මස 18 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පනවා ඇත.
-
Sri Lanka Purchasing Managers’ Index - January 2021
2021 ජනවාරි මාසයේ දී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක වර්ධනය විය.
2021 ජනවාරි මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක අගය 60.2ක් වාර්තා කරමින් වර්ධනය වූ අතර, නව ඇණවුම් සහ නිෂ්පාදන වල සිදුවූ වර්ධනය මේ සඳහා හේතු විය. තොග මිලදී ගැනුම් උප දර්ශකයේ ඉහළ යාමද සමස්ත දර්ශකයේ වර්ධනය කෙරෙහි දායක විය.
ධනාත්මක ලෙස වසර ආරම්භ කරමින්, සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2021 ජනවාරි මාසයේ දී 56.2ක් ලෙස වාර්තා විය. COVID-19 වසංගතයෙහි දෙවන රැල්ල හේතුවෙන් පසුබෑමකට ලක් වූ සේවා අංශය තවදුරටත් යථා තත්ත්වයට පත්වීමක් මෙමගින් පෙන්නුම් කෙරේ. නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්හි දක්නට ලැබුණු ඉහළ යෑම් මෙම වර්ධනය සඳහා දායක විය.