• The Central Bank of Sri Lanka Continues its Accommodative Monetary Policy Stance

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 ඔක්තෝබර් 21 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළ අතර, එමගින් දැනට පවත්නා ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යෑමට තීරණය කළේ ය.  ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසරේ මේ දක්වා කාලය තුළ දී පෙර නො වූ අයුරින් ක්‍රියාත්මක කරන ලද මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් සමස්ත වෙළෙඳපොළ ණය පොලී අනුපාතිකයන්ගේ පහළ යෑම මුදල් ම‍ණ්ඩලය විසින්  නිරීක්ෂණය කළ අතර, වෙළෙඳපොළ පොලී අනුපාතික පුළුල් ලෙස පහළ යෑම අඛණ්ඩ ව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමඟින් දැනට පවත්නා අඩු උද්ධමන වාතාවර‍ණය තුළ ආර්ථිකයෙහි ඵලදායි අංශ වෙත අඩු පිරිවැය යටතේ ණය ප්‍රවාහ ගලා යෑම සහතික කෙරෙනු ඇත.

  • NCPI based Inflation increased in September 2020

    ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100)  වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2020 අගෝස්තු මාසයේ පැවති සියයට 6.2හි සිට 2020 සැප්තැම්බර් මාසයේ දී සියයට 6.4 දක්වා ඉහළ ගියේ ය. ආහාර සහ ආහාර නො වන කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, 2019 සැප්තැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම හේතුවෙන් ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 අගෝස්තු මාසයේ දී පැවති සියයට 13.2හි සිට 2020 සැප්තැම්බර් මාසයේ දී සියයට 12.7 දක්වා පහළ ගියේ ය. එසේ වුව ද, ආහාර නො වන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 අගෝස්තු මාසයේ පැවති සියයට 1.1හි සිට 2020 සැප්තැම්බර් මාසයේ දී සියයට 1.4 දක්වා ඉහළ ගියේ ය.

  • Central Bank Approved 61,907 Loans Amounting to Rs. 178 billion through Saubagya COVID-19 Renaissance Facility

    2020 ඔක්තෝබර් මස 15 වන විට, කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර විසින් එවන ලද ණය අයදුම්පත් 61,907ක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අනුමැතිය ලබා දී ඇත. සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකමෙහි අදියර තුන ම යටතේ ලියාපදිංචි කළ මෙම අයදුම්පත්වල වටිනාකම රුපියල් මිලියන 177,954 ක් විය. බලපත්‍රලාභී බැංකු විසින් දිවයින පුරා විසිරී සිටින පීඩාවට පත් වූ ප්‍රතිලාභීන් 45,582ක් වෙත රුපියල් මිලියන 133,192ක මුදල් ප්‍රමාණයක් මේ වන විට මුදා හැර ඇත (වැඩි විස්තර සඳහා වගු අංක 1 බලන්න).

  • Sri Lanka Purchasing Managers’ Index - September 2020

    නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සැප්තැම්බර් මාසයේ දී වර්ධනය විය.

    2020 අගෝස්තු මාසයට සාපේක්ෂ  ව 2020 සැප්තැම්බර් මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉහළ වේගයකින් වර්ධනය විය. විශේෂයෙන් ම ආහාර හා පාන වර්ග නිෂ්පාදන සහ රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන උප අංශවල, නිෂ්පාදනය සහ නව ඇණවුම්වල සිදු වු ඉහළ යාම නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ මෙම ඉහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතු විය.

  • External Sector Performance - August 2020

    2020 වසරේ අගෝස්තු මාසයේ දී වෙළඳ හිඟය අඩු වීම සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල සැලකිය යුතු වැඩි වීම ප්‍රධාන වශයෙන් හේතු කොට ගෙන විවිධ පැතිකඩ ඔස්සේ ශ්‍රී ලංකාවේ විදේශීය අංශය යථා තත්ත්වයට පත් වීම අඛණ්ඩව සිදු විය. වෙළඳ භාණ්ඩ අපනයන ආදායම මාසය තුළ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත අඩුවීමක් වාර්තා කළ ද, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම සඳහා පැන වූ නියාමනයන් සහ බොරතෙල් මිල අඩු වීම හේතුවෙන් වෙළඳ භාණ්ඩ ආනයන අඩුවීමත් සමඟ වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළඳ හිඟය අඩු විය. කෙසේ වෙතත්, වසංගත බලපෑමට ලක් වූ ගෝලීය ඉල්ලුම හමුවේ වුව ද, අඛණ්ඩව තුන්වන මාසයටත් අපනයන ක්‍රියාකාරිත්වය ශක්තිමත්ව පැවතුණි. මේ අතර, ජංගම ගිණුම ශක්තිමත් කරමින් 2020 වසරේ අගෝස්තු මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සැලකිය යුතු වැඩිවීමක් වාර්තා කළේය. මූල්‍ය ගිණුම සැලකීමේ දී, රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙතින් විදේශ ආයෝජන ගෙවීම් සුළු ප්‍රමාණයක් වාර්තා වූ අතර, කොළඹ කොටස් වෙළඳපොළ වෙතින් ද විදේශ ආයෝජන ගෙවීම් වාර්තා විය.

  • Launch of the National LANKAQR initiative

    ගරු වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් “රටපුරාම LANKAQR“ ජාතික සමාරම්භක අවස්ථාව 2020 ඔක්තෝම්බර් මස 05 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේදී සනිටුහන් කරන ලදී. ගරු මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, ගරු සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝගීතා රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සහ ගරු සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරු ද මෙම සමාරම්භක උළෙලට සහභාගී විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඇතුළු මුදල් මණ්ඩලයේ සාමාජික මහත්ම මහත්මීන් ද සහභාගී විය.

  • The Central Bank of Sri Lanka Successfully Completes the Settlement of the Maturing International Sovereign Bond of US Dollars 1 Billion on Behalf of the Government of Sri Lanka

    2020 ඔක්තෝබර් දෙවැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කල් පිරෙන එක්සත් ජනපද ඩොලර් බිලියනයක් වටිනා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක්, නියමිත කූපන ගෙවීම් ද සහිතව, පියවීම සාර්ථකව නිම කරන ලදී.

    මෙම පියවීම මගින් විදේශීය වගකීම් නිසි ලෙස පියවීම සඳහා රජයේ නොසැලෙන කැපවීම නැවත තහවුරු කෙරෙන අතර, එමගින් ආයෝජකයින්ගේ විශ්වාසය ඉහළ නැංවීමත් ණය සේවාකරණය පිළිබඳව ඇති නොකැළැල් වාර්තාව එලෙසම පවත්වා ගෙන යාමට මෙරට රජයට ඇති හැකියාව සහ කැමැත්ත සම්බන්ධයෙන් විදේශ ආයෝජකයින්ට පැවතිය හැකි ගැටලු  දුරලීමත් සිදු කරයි. ශ්‍රී ලංකා ආර්ථිකයේ මෑත කාලීන ධනාත්මක වර්ධනයට සහ මෙම බැඳුම්කර පියවීමට මෙරට විදේශ විනිමය වෙළෙඳපොළ දැනටමත් ධනාත්මක ප්‍රතිචාර දක්වා ඇත. රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබූ පූර්ව ක්‍රියාමාර්ගවල සහාය ඇතිව මෙරට විදේශ විනිමය වෙළෙඳපොළ වෙත ලැබෙතැයි අපේක්ෂිත ගලා ඒම් සමඟ ඉදිරි කාලය තුළදී වෙළෙඳපොළ විශ්වසනීයත්වය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

  • CCPI based Inflation decreased in September 2020

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 අගෝස්තු මාසයේ පැවති සියයට 4.1හි සිට 2020 සැප්තැම්බර් මාසයේ දී සියයට 4.0 දක්වා සුළු වශයෙන් පහළ ගියේය. 2019 සැප්තැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 අගෝස්තු මාසයේ පැවති සියයට 12.3හි සිට 2020 සැප්තැම්බර් මාසයේ දී සියයට 11.5 දක්වා පහළ ගියේය. එසේ වුවද, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 අගෝස්තු මාසයේ පැවති සියයට 0.8හි සිට 2020 සැප්තැම්බර් මාසයේ දී සියයට 0.9 දක්වා ඉහළ ගියේය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි දර්ශකයෙහි වෙනස ද, 2020 අගෝස්තු මාසයේ පැවති සියයට 4.8හි සිට 2020 සැප්තැම්බර් මාසයේ දී සියයට 4.7 දක්වා පහළ ගියේය.

  • Response to the Downgrade of Sri Lanka’s Rating by Moody’s Investors Service

    මූඩීස් ඉන්වෙස්ටර්ස් සර්විස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරී ශ්‍රේණිගත කිරීම පිළිබඳ ව කරන ලද නිවේදනයෙන් පසු ව ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය දැක්වූ ප්‍රතිචාරය පහත සබැඳියෙන් ලබා ගත හැක.

  • Release of 'Sri Lanka Socio Economic Data – 2020' Publication

    ශ්‍රී ලංකා මහ බැංකුවේ, 'ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත - 2020' වාර්ෂික ප්‍රකාශනයේ 43 වෙනි වෙළුම පොදු මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත. 

    පහසුවෙන් ගෙන යා හැකි අයුරින් සකස් කොට ඇති මෙම ප්‍රකාශනයෙහි, ශ්‍රී ලංකාවේ මූලික තොරතුරු, මූලික ආර්ථික දර්ශක, ලෝකයේ අනෙකුත් රටවල් සමඟ ශ්‍රී ලංකාවේ තත්ත්වය, සමාජ ආර්ථික තත්ත්වයන්, මානව සම්පත් තොරතුරු, ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ආර්ථික හා සමාජ යටිතල පහසුකම්, මිල සහ වැටුප්, විදේශ වෙළඳාම සහ සංචාරක කර්මාන්තය, විදේශ මූල්‍ය, රාජ්‍ය මූල්‍ය කටයුතු, මූල්‍ය හා බැංකු  යන ශීර්ෂ 14 ක් යටතේ නවතම දත්ත ඇතුළත් වේ. 

Pages