• Credit Support to Accelerate Economic Growth

    රටේ ආර්ථික වර්ධනය වේගවත් කිරීමේ අරමුණින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය ගැනුම්කරුවන් සඳහා විශේෂ ණය සහන යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට බැංකු අංශය කටයුතු කර ඇත. මෙහි ප්‍රතිලාභය ලබා දීමේ වැදගත්කම සලකා බැලීමෙන් පසු ඒ හා සමාන ණය යෝජනා ක්‍රමයක් බැංකු නොවන මූල්‍ය අංශයේ ණය ගැනුම්කරුවන්ට ද හඳුන්වා දීමට තීරණය කරන ලදී.

  • Monetary Policy Review - No. 2 of 2020

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල්  මණ්ඩලය, 2020 මාර්තු 04 වැනි දින පැවති රැස්වීමේදී, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 6.50 සහ සියයට 7.50 ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස්ව තබා ගනිමින් සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අ‍‍ඛණ්ඩව පවත්වා ගෙන යෑමට තීරණය කළේය. දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, මූල්‍ය වෙළඳපොළෙහි මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතාවන් මනාව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගනු ලැබීය. මුදල් මණ්ඩලයේ මෙම තීරණය, උද්ධමනය සියයට 4-6 අතර පරාසය තුළ පවත්වා ගැනීමේ අරමුණ සමඟ අනුකූල වන අතර, මැදිකාලීනව ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටමට ළඟාවීම සඳහා සහාය වනු ඇත.

  • CCPI based Inflation increased in February 2020

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100)  ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජනවාරි මාසයේ පැවති සියයට 5.7හි සිට 2020 පෙබරවාරි මාසයේ දී සියයට 6.2 දක්වා ඉහළ ගියේ ය. 2019 පෙබරවාරි මාසයේ පැවති පහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා පුර්ණ වශයෙන් දායක විය. ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2020 පෙබරවාරි මාසයේ දී සියයට 14.7හි පැවති අතර, ආහාර නො වන කාණ්ඩායේ ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 2.8හි පැවතුණි. 

  • Land Valuations Indicator - Second Half of 2019

    2019 වසරේ දෙවන භාගය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් කොළඹ දිස්ත්‍රික්කය ආවරණය කරමින් ගණනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය 138.9ක අගයක් වාර්තා කරන ලද අතර, එය 2018 වසරේ දෙවන භාගයේ වාර්තා වූ අගයට සාපේක්ෂ ව සියයට 10.4ක වර්ධනයකි. මෙම වර්ධනය සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනෙහි ම ඉහළ යාම හේතු විය.

    අනු දර්ශක අතුරින්, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වැඩි ම ඉහළ යෑම වන සියයට 10.7ක අගය නේවාසික ඉඩම් තක්සේරු දර්ශකය මගින් වාර්තා වූ අතර, වාණිජ ඉඩම් තක්සේරු දර්ශකයේ සහ කාර්මික ඉඩම් තක්සේරු දර්ශකයේ ඉහළ යෑම සියයට 10.3ක් විය. මේ අතර, සමස්ථ ඉඩම් තක්සේරු දර්ශකය 2019 වසරේ පළමු භාගයට සාපේක්ෂ ව 2019 වසරේ දෙවන භාගයේ දී සියයට 5.1 කින් ඉහළ ගියේ ය.

  • NCPI based Inflation increased in January 2020

    ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100)   ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 දෙසැම්බර් මාසයේ පැවති සියයට 6.2හි සිට 2020 ජනවාරි මාසයේ දී සියයට 7.6 දක්වා ඉහළ ගියේ ය. ආහාර සහ ආහාර නො වන කාණ්ඩ දෙකෙහි ම අයිතමයන්හි මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා දායක විය. ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2019 දෙසැම්බර් මාසයේ දී පැවති සියයට 8.6හි සිට 2020 ජනවාරි මාසයේ දී, 2017 නොවැම්බර් මාසයෙන් පසු වාර්තා වූ ඉහළ ම අගය වන, සියයට 13.7 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගියේ ය. තව ද, ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජනවාරි මාසයේ දී සියයට 3.0ක් ලෙස වාර්තා විය. 

  • Discontinuation of Compilation and Publication of Sri Lanka Inter Bank Offered Rate (SLIBOR)

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2020 ජූලි මස 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතික (SLIBOR) ගණනය කිරීම සහ ප්‍රකාශයට පත් නො කිරීමට තීරණය කරන ලදී. මෙම තීරණයට එළඹීම සඳහා ප්‍රධාන වශයෙන් සැලකිල්ලට භාජනය වූ කරුණු වනුයේ දේශීය මූල්‍ය වෙළෙඳපොළ තුළ ණය උපකරණ සඳහා වන පදනම් මිල තීරණය කිරීමේ දී ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතික භාවිත කිරීම අවම වීම, ලන්ඩන් අන්තර් බැංකු අර්පණ අනුපාතික (LIBOR) ඇතුළු ව එවැනි අර්පණ අනුපාතික ගණනය කිරීම හා ප්‍රකාශයට පත් කිරීමෙන් ගෝලීය වශයෙන් බැහැරවීමේ ප්‍රවණතාව, අන්තර් බැංකු වෙළඳපොළේ දිගුකාලීන පරිණත කාල සීමා සඳහා පවතින අඩු පරිමාවන් හමුවේ අර්පණ අනුපාතික වාර්තා කිරීම නවතාලීම සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් කරන ලද ඉල්ලීම් සහ දේශීය මූල්‍ය වෙළෙඳපොළ තුළ විකල්ප පදනම් පොලී අනුපාතික පැවතීම යනාදියයි.

  • Appointment of a New Deputy Governor

    මුදල් මණ්ඩලය විසින් ගරු මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමාගේ අනුමැතිය සහිතව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන කේ . එම් . මහින්ද සිරිවර්ධන මහතා 2020 පෙබරවාරි මස 12 වැනි දින සිට නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත්කර ඇත.

    සිරිවර්ධන මහතා වසර විසි අටකට අධික කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කර ඇත. නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත්වීමට පෙර සිරිවර්ධන මහතා ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව සහ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව භාර සහකාර අධිපති ලෙස කටයුතු කර ඇති අතර ඒ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කර ඇත.

  • External Sector Performance - December 2019

    2019 දෙසැම්බර් මාසයේදී අපනයන ආදායම අඩු වූ අතර, ආනයන වියදම වැඩි වීමෙන් වෙළඳ හිඟය පුළුල් විය. 2019 වසර තුළදී ආනයන වියදම සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වීම හේතුවෙන් වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස අඩු විය. වසර තුළදී සමුච්චිත පදනම මත සංචාරක ඉපැයීම් අඩු වුවද, 2019 දෙසැම්බර් මාසයේදී සංචාරක කර්මාන්තය නැවත යථා තත්ත්වයට පත්වීම වේගවත් විය. 2019 දෙසැම්බර් මස විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වීම, 2019 වසර තුළදී සමුච්චිත පදනම මත එහි අඩු වීම සුළු වශයෙන් පහළ යෑමට උපකාරී විය. මේ අතර, 2019 දෙසැම්බර් මාසයේදී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙතින් සැලකිය යුතු ලෙස විදේශීය ආයෝජන ගෙවීමක් වාර්තා වූ අතර කොළඹ කොටස් වෙළඳපොළ තුළින්ද සුළු ශුද්ධ ගෙවීම් දක්නට ලැබුණි. 2019 වසරේදී ශ්‍රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට සාපේක්ෂව අතිප්‍රමාණය වූ අතර 2020 වසරේ මේ දක්වා කාලපරිච්ඡේදය තුළදී ස්ථාවරව පැවතුණි.

  • Regulatory Action on a Primary Dealer - Pan Asia Banking Corporation PLC

    ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී, ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2020 පෙබරවාරි මස 15 වැනි දින පෙ.ව. 10.00 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් අත්හිටුවීමට තීරණය කරන ලදී.

    මෙම නියාමන ක්‍රියාමාර්ගය මගින් රජයේ සුරැකුම්පත් සඳහා වන ප්‍රාථමික වෙන්දේසිවලට සහභාගි වීමට පෑන් ඒෂියා බැංකුවට ඇති හැකියාව අත්හිටුවනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවධාරණය කරනු ලැබේ. කෙසේ වෙතත්, මෙම නියාමන ක්‍රියාමාර්ගය මගින් පෑන් ඒෂියා බැංකුවේ අනෙකුත් ක්‍රියාකාරකම් හා සේවාවන් සඳහා කිසිදු බලපෑමක් ඇති නොවේ.

  • Sri Lanka Purchasing Managers’ Index - January 2020

    2020 ජනවාරි මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය අඩු වේගයකින් වර්ධනයක් පෙන්නුම් කරමින්, දර්ශක අගය 54.0 ක් ලෙස වාර්තා වූ අතර, නව ඇණවුම් සහ තොග මිලදී ගැනුම් වල සිදුවූ මන්දගාමී වර්ධනය මේ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු විය.

    නව ඇණවුම්, නිෂ්පාදන සහ තොග මිලදී ගැනුම් යන උප දර්ශක අඩු වේගයකින් ඉහළ යාම කෙරෙහි විශේෂයෙන්ම, උත්සව සමය නිමාවීමත් සමග ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයෙහි පැවති ඉල්ලුම පහළ යාම ප්‍රධාන වශයෙන් හේතු විය. තවද, චීන නව අවුරුදු නිවාඩුව හේතුවෙන් රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයන්හි තොග මිලදී ගැනුම් වර්ධනය මන්දගාමී වූ බව නිරීක්ෂණය කළ හැකි විය. වඩා හොඳ රැකියා අවස්ථා සඳහා සමහර සේවකයින් සේවය හැර යාම, සේවා නියුක්තියෙහි පහළ යාම කෙරෙහි හේතු විය.

Pages