මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව

1949 අංක 58 දරන සංශෝධිත මුදල් නීති පනතේ 33 වන වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව ස්ථාපනය කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන මූල්‍ය ආයතනයන්හි පාරිභෝගිකයින් විසින් යොමුකරනු ලබන සියළුම පැමිණිලි භාර ගැනීම සහ ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් වූ තනි ඒ්කකයක් ලෙස මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව සේවය කරයි. ඉදිරියේදී, මූල්‍ය ආයතනයන්ගේ වෙළඳ පොළ හැසිරීම පිළිබඳ ප්‍රමිතීන් අධීක්ෂණය කිරීම, දේශීය හා ජාත්‍යන්තර වෙළඳ පොළ සංවර්ධනයන් හා යහපත් පරිචයන්ට අනුකූලව මූල්‍ය පාරිභෝගික ආරක්ෂණ ප්‍රතිපත්ති සමාලෝචනය, අක්‍රමිකතා හා විෂමාචාරයන් සම්බන්ධයෙන් ක්‍රියාශීලී හා ප්‍රතික්‍රියක ක්‍රියාමාර්ග ගැනීම සහ මූල්‍ය පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධ ගැටළු තුළ පවත්නා අවදානමට ලක්විය හැකි තත්ත්වයන් හඳුනා ගැනීම සහ අධීක්ෂණය කිරීම යන ප්‍රධාන ක්‍රියාකාරකම් කෙරෙහි මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව සිය අවධානය යොමු කරනු ඇත.

මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ විෂය පථයට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන පහත සඳහන් මූල්‍ය ආයතනයන් අයත් වේ.

  1. බලපත්‍රලාභී වාණිජ බැංකු
  2. බලපත්‍රලාභී විශේෂිත බැංකු
  3. බලපත්‍රලාභී මූල්‍ය සමාගම්
  4. ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතන
  5. බලයලත් ප්‍රාථමික අලෙවිකරුවන්
  6. ශ්‍රී ලංකා ගෙවීම් හා පියවීම් පද්ධතිය හා සම්බන්ධවන්නන් (මූල්‍ය ආයතන හැර)
    ග්ලෝබල් පේමන්ට්ස් ඒෂියා-පැසිෆික් ලංකා (ප්‍රයිවට් ) ලිමිටඩ්*
    ඩයලොග් ඇක්සියාටා පී එල් සී*
    මොබිටෙල් (ප්‍රයිවට්) ලිමිටඩ්*

*ගෙවීම් පද්ධතිවල ගැටළු සඳහා පමණි.

ඒ අනුව, ඉහත සඳහන් මූල්‍ය ආයතනවලට අදාල පැමිණිලි තැපැල්, විද්‍යුත් තැපැල් හෝ ෆැක්ස් මාර්ගයෙන් මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව වෙත පහත සඳහන් වෙබ් අඩවි දිගුව මගින් හෝ කිව් ආර් (QR) කේතය මගින් බාගත කර ගනු ලබන පැමිණිලි යොමු කිරීමේ ආකෘති පත්‍රය භාවිතයෙන් යොමු කල හැක.

https://www.cbsl.gov.lk/sites/default/files/fcrd_complaint_submission_form_s.pdf

කිව් ආර් (QR) කේතය:

 

 

 

 

මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ පැමිණිලි හැසිරවීමේ ක්‍රියාපටිපාටිය පහත දක්වා ඇත.

  1. පැමිණිල්ලක් ලැබීමෙන් පසු මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව විසින් එම පැමිණිල්ල  සඳහා නිශ්චිත යොමු අංකයක් (CRN) ලබා දෙන අතර පැමිණිලිකරු ලිපි හුවමාරු කිරීමට කැමති මාධ්‍යය ඔස්සේ එම යොමු අංකය සඳහන් කරමින් ලිපියක් මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව විසින් පැමිණිලිකරු වෙත යොමු කරනු ලැබේ. 
  2. මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව විසින් අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම නිශ්චය කිරීම සඳහා පැමිණිල්ල මූලිකව විමර්ශනය කරනු ඇත.
  3. පැමිණිල්ලේ නිමිත්ත මත පදනම්ව පාරිභෝගිකයා විසින් සපයන ලද තොරතුරු අනුව විමර්ශනය කරන ලද පැමිණිල්ල, අදාළ මූල්‍ය ආයතනය සහ / හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙනත් දෙපාර්තමේන්තුවක් වෙත ඔවුන්ගේ සලකා බැලීම සඳහා ඉදිරිපත් කරනු ලැබේ.
  4. අදාළ මූල්‍ය ආයතනය විසින් නියමිත කාලසීමාවක් තුළදී පැමිණිල්ලට අදාළව සුදුසු පිළිතුරක් ලිඛිතව පැමිණිලිකරු වෙත ලබා දිය යුතු අතර එය විසඳීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව වෙත දැන්විය යුතුය.
  5. මූල්‍ය ආයතනය විසින් ලබා දුන් පිළිතුර සමග ප්‍රධාන පැමිණිලිකරු එකඟ නොවේ නම්, එම පිළිතුර මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව විසින් සමාලෝචනය කරනු ලබන අතර ඒ සඳහා ප්‍රධාන පැමිණිලිකරු විසින් පැමිණිල්ලේ වර්තමාන තත්ත්වය මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කල යුතුය.
  6. මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ අදහස පැමිණිල්ලේ වර්ථමාන තත්ත්ව සමග සමාලෝචනය කරන ලද මූල්‍ය ආයතනයේ පිළිතුර අදාළ මූල්‍ය ආයතනය වෙත නියමිත කාල සීමාවක් තුළදී නිරාකරණය කිරීම සඳහා නැවත යොමු කරනු ලැබේ.
  7.  අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් මූල්‍ය ආයතනය ගනු ලැබූ ක්‍රියා මාර්ගයන් නෛතික හා නියාමන අවශ්‍යතාවයන්ට අනුකූල නොවේ නම්, අවශ්‍ය බලාත්මක කිරීමේ පියවර ගැනීම සඳහා නිසි බලධාරියා වෙත දන්වනු ලැබේ.

 

මූල්‍ය පාරිභෝගික ඔබගේ මූලික අයිතීන්

 

 

තැපැල් ලිපිනය : මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව,
  අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01.
විමිසීම් සඳහා ක්ෂණික ඇමතුම්  : 1935
දුරකථන : +94 112477966
ෆැක්ස් : +94 112477744
විද්‍යුත් තැපැල් :