අර්බුද අවස්ථා සන්නිවේදනය

ගෙවීම් හා පියවීම් පද්ධතිය

මෙම අර්බුදකාරී කාලය තුළ දී ගෙවීම් අඛණ්ඩව සිදු කර ගෙන යෑමට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?

ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර මෙහෙයුම්, ජංගම සහ ඉතුරුම් ගිණුම් ඔස්සේ සිදු කරනු ලබන ගෙවීම් (නි.ද. SLIPS, CEFTS සහ QR කේත පදනම් කරගත් ගෙවීම්), චෙක්පත් ගෙවීම්, අන්තර්ජාල බැංකුකරණය සහ ජංගම දුරකථනය පදනම් කරගත් බැංකුකරණය සඳහා පහසුකම් සලසන රටේ අත්‍යවශ්‍ය ගෙවීම්, නිශ්කාශන සහ පියවීම් පද්ධති සේවා අඛණ්ඩව පවත්වා ගෙන යෑම තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව වග කියනු ලබයි. තත්කාලීන දළ පියවීම් (RTGS) පද්ධතිය ඔස්සේ ඉහත ගෙවීම්වල අවසාන පියවීම සිදු කිරීම ද ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සහ ලංකාක්ලියර් (පුද්) සමාගම (LCPL) විසින් ක්‍රියාත්මක කරනු ලබන ගෙවීම් පද්ධතිවලින් අඛණ්ඩව සේවාවන් ලබා දීම සහතික කිරීම සඳහා පරිපූර්ණ ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් (BCP) යොදවා ඇත. තවද, තත්කාලීන දළ පියවීම් පද්ධති සහභාගීකරුවන්ගේ සහ ලංකා ක්ලියර් (පුද්.) සමාගමෙහි ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් කටයුතු මගින් රටේ ගෙවීම් සහ පියවීම් පද්ධති වෙත එල්ල කරනු ලබන පද්ධතිමය වශයෙන් පැන නැඟිය හැකි අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම පාර්ශ්වයන් අධීක්ෂණය සහ සමීක්ෂණය කරනු ලබයි.

ශ්‍රී ලංකා මහ බැංකුව ගෙවීම් පද්ධතිවල කලින් කලට හට ගනු ඇති ගැටලු අධීක්ෂණය සහ නිරාකරණය කිරීම සඳහා ද කැප වී සිටී. මෙම සියලු ක්‍රියාමාර්ග ගෙවීම් ක්‍රම වෙත පහසුවෙන් පිවිසිය හැකි බව තහවුරු කිරීමට සහ ගනුදෙනුකරුවන් හට විධිමත්, ගෙවීම් සේවාවන් අබාධිතව සැපයෙන බව වගබලා ගැනීමේ ප්‍රයත්නයක් ලෙස ගනු ලැබේ.