මූල්‍ය පද්ධති ස්ථායීතාව - සමස්ත විග්‍රහය

මූල්‍ය පද්ධති ස්ථායීතාව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානතම අරමුණුවලින් එකකි.  ආර්ථික කම්පන හා ආතතිමය වාතාරවණ තුළ දී ද, ආර්ථික වර්ධනය හා ජනතා සුභසාධනයට භෞතිකමය බලපෑම් ඇති නො කරන අයුරින් තැන්පතු රැස් කිරීම, ඒවා ඵලදායී ආයෝජනවල යෙදවීම, අවදානම් කළමනාකරණය හා ගෙවීම් පියවීම් කටයුතු සිදු කිරීමේ හැකියාව ස්ථායී මූල්‍ය පද්ධතියකට ඇත.  මෙය ආයෝජන ප්‍රවර්ධනය හා ආර්ථික වර්ධනය සඳහා මූල්‍ය අතරමැදිකරණය කාර්යක්ෂම ව සිදු කිරීමට සතුටුදායී වාතාවරණයක් නිර්මාණය කිරීමට උපකාරී වේ. 

මූල්‍ය පද්ධති ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය

   මුදල් කෙරෙහි මහජන විශ්වසනීයත්වය ප්‍රවර්ධනය කිරිම හා පවත්වාගෙන යෑම.

   තනි මූල්‍ය ආයතනවල සුරක්ෂිතතාව හා ශක්තිමත්භාවය ප්‍රවර්ධනය කිරිම.

   මූල්‍ය පද්ධති අවදානම් අවම කිරීම හරහා අනෙකුත් මූල්‍ය නියාමකයන් හා සහයෝගීත්වයෙන් මූල්‍ය පද්ධතිය පිළිබඳ මහජන විශ්වසනීයත්වය තහවුරු කිරීම.

   අවසාන ණය දෙන්නා වශයෙන් කටයුතු කිරීම.

   බිඳවැටෙන මූල්‍ය ආයතන තුළින් සමස්ත මූල්‍ය පද්ධතියට/ආර්ථිකයට ඇති විය හැකි අහිතකර බලපෑම් අවම වන අයුරින් නිරාකරණය කිරීම.

   මූල්‍ය වෙළෙදපොළ යටිතල පහසුකම් නියාමනය හා අධීක්ෂණය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන විෂයපථය යටතේ ගැනෙන ආයතන හා ව්‍යාපාර 

   බලපත්‍රලාභී බැංකු

   බලපත්‍රලාභී මුදල් සමාගම්

   ලියාපදිංචි කල්බදු සමාගම්

   බලපත්‍රලාභී ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්

   රජයේ සුරැකුම්පත්වල ප්‍රාථමික අලෙවිකරුවන්

   විදේශ විනිමය සඳහා බලයලත් අලෙවිකරුවන් 

   බලයලත් මුදල් හුවමාරුකරන්නන්

   බලයලත් මුදල් තැරැව්කරුවන්

මීට අමතර ව, ප්‍රධාන මූල්‍ය නියාමක ආයතන දෙකකි.

  සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව කොටස් හුවමාරු, කොටස් තැරැව්කරුවන්/අලෙවිකරුවන්, ඒකකභාර සමාගම්, ආන්තික ප්‍රතිපාදකයන්, ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන, ආයෝජන කළමනාකරුවන්, කොටස් හා පෞද්ගලික ණය සුරැකුම්පත් නිශ්කාෂණ ආයතන නියාමනය කිරීමේ වගකීම දරයි.

  ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය රක්ෂණ අංශය එ නම්, රක්ෂණ සමාගම්, රක්ෂණ නියෝජිතයින් හා තැරැව්කරුවන් නියාමනය කරයි.

(මූල්‍ය පද්ධති ස්ථායීතාව පිළිබඳ වග කියන නියෝජ්‍ය අධිපති මෙම එක් එක් නියාමක මණ්ඩලවල දී ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරයි.)