මහ බැංකුවේ අරමුණු

වෙනස් වන ආර්ථික පරිසරයට ප්‍රතිචාරයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉලක්කය සහ කාර්යයන් එය ස්ථාපනය කළ දා සිට විකාශනය වී ඇත. මහ බැංකුකරණ ප්‍රවණතා හා අනුව යමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු එහි ප්‍රධාන අරමුණු හඹා යෑමට හැකි වන සේ සහ මුල් කාලීන ව බැංකුවට පැවරුණු අරමුණු ගණනාවකින් නිදහස් කිරීමට 2002 වසරේ දී මුදල් නීති පනත සංශෝධනය කිරීම මගින් විධිමත් කෙරිණි. මූලික වශයෙන් 2002 දී සිදු කළ මහ බැංකු අරමුණු සරල කරන ලද ඉහත සංශෝධනය හැරුණු කොට, මුදල් නීති පනත පසුගිය වසරවල දී පූර්ණ සමාලෝචනයකට සහ සංශෝධනයකට ලක් වී නොමැත. එබැවින්, ආර්ථික ප්‍රවණතා සහ මහ බැංකුකරණයෙහි සමස්ත විකාශයෙහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය මනා භාවිතයන්ට අනුකූල ව මුදල් නීති පනතේ විධිවිධාන ගණනාවක් සමාලෝචනය කිරීමේ අවශ්‍යතාවත් සමඟ ශ්‍රී ලංකා මහ බැංකු පනත 2023 වසරේ දී ක්‍රියාත්මක වුණි. මහ බැංකුවේ ස්වාධීනභාවය ඉහළ නැංවීමට, විවෘතභාවය සහ වගවීම ඉහළ නැංවීමට සහ ශ්‍රී ලංකාවෙහි අඛණ්ඩ මුදල් ස්ථායිතාව පවත්වා ගෙන යෑම සඳහා මුදල් ප්‍රතිපත්ති රාමුව  වැඩි දියුණු කිරීම සඳහා වන විශේෂ විධිවිධාන මහ බැංකු පනත සතු වේ. 

ඒ අනුව, මහ බැංකු අරමුණු ද වෙනස් කෙරිණි. 

මූලික අරමුණ - “දේශීය මිල ස්ථායිතාව ළඟා කර ගැනීම සහ පවත්වා ගෙන යෑම”

අනෙක් අරමුණ - “මූල්‍ය පද්ධති ස්ථායිතාව සුරක්ෂිත කිරීම”

ශ්‍රී ලංකාවේ ඵලදායී සම්පත් සංවර්ධනය දිරිමත් කිරීම සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව.

දේශීය මිල ස්ථායිතාව 

දේශීය මිල ස්ථායිතාව ව්‍යවහාර මුදලෙහි වටිනාකම නිවසේ දී මිල දී ගන්නා දෑ අනුව ආරක්ෂා කරයි. මිල ස්ථායිතාව හෝ ස්ථාවර මිල ගණන් යන්නෙන් අවම උද්ධමනය යන්න අදහස් කෙරේ. උද්ධමනය අවම වූ විට සහ උද්ධමනය අවම වනු ඇතැයි අපේක්ෂා කිරීමේ දී ආර්ථිකය මනා කාර්යසාධනයක් පෙන්නුම් කරන බව අත්දැකීම් මගින් සනාථ වී ඇත. මෙම තත්ත්වයන් තුළ පොලී අනුපාතික ද අවම වේ. එවැනි පරිසරයක් ආර්ථිකයකට එහි වර්ධන විභවය ළඟා කර ගැනීමට සහ ඉහළ සේවා නියුක්තියක් වර්ධනය කිරීමට ඉඩ සලසයි. ඉහළ සහ වෙනස් වන සුලු උද්ධමනයෙහි බාධාකාරී බලපෑම්වලින් තොර ව, පාරිභෝගිකයන් සහ නිෂ්පාදකයන් යන දෙපාර්ශ්වයට ම විශ්වාසයෙන් යුතුව ආර්ථික තීරණ ගත හැකි වේ. අවම උද්ධමනය හෝ මිල ස්ථායිතාව තිරසර දිගු කාලීන ආර්ථික වර්ධනයක් සහ සේවානියුක්තියක් වර්ධනය කරයි. මහ බැංකුව උද්ධමනය පාලනය කිරීම සඳහා මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග භාවිත කරයි. 

මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව

ස්ථාවර මූල්‍ය පද්ධතියක් තැන්පත්කරුවන් සහ ආයෝජකයන් සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කරන අතර, කාර්යක්ෂම මූල්‍ය අතරමැදිකරණය වෙළෙඳපොළ සාර්ථක ව ක්‍රියාත්මක කිරීම දිරිමත් කරවමින්, එහි ප්‍රතිඵලයක් ලෙස ආයෝජනය සහ ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කරයි.  මූල්‍ය පද්ධති ස්ථායිතාව යන්නෙන් මූල්‍ය පද්ධතියේ මූල්‍ය ආයතන සහ වෙළෙඳපොළ සඵලදායී ක්‍රියාකාරිත්වය සහ බැංකු, ව්‍යවහාර මුදල් සහ ගෙවුම් තුලන අර්බුද නොමැති බව අර්ථවත් වේ. බැංකු බිඳවැටීම්, අධික වත්කම් මිල උච්චාවචන සහ වෙළෙඳපොළ ද්‍රවශීලතාව කඩා වැඩීම හෝ ගෙවීම් පද්ධතියට ඇතිවන බාධා මගින් මූල්‍ය අස්ථායිතාව හට ගනී. මූල්‍ය පද්ධති ස්ථායිතාව සඳහා ස්ථාවර සාර්ව ආර්ථික පරිසරයක්, සාර්ථක නියාමන රාමුවක්, මැනවින් සංවිධානය කළ මූල්‍ය වෙළෙඳපොළ, මනා මූල්‍ය ආයතන සහ සුරක්ෂිත සහ දියුණු ගෙවීම් යටිතල පහසුකම් අවශ්‍ය වේ. මූල්‍ය ස්ථායිතාව පවත්වා ගෙන යෑම සඳහා වෙළෙඳපොළ සහ මූල්‍ය ආයතන පරීක්ෂා කිරීම, ගෙවීම් ක්‍රම සහ අර්බුද නිරාකරණය, අධීක්ෂණය කිරීම ඔස්සේ සමස්තයක් ලෙස මූල්‍ය පද්ධතිය වෙත ඇතිවන තර්ජන හඳුනා ගැනීම සහ අවම කළ යුතු වේ.