කොවිඩ්–19 ව්‍යාප්තිය මධ්‍යයේ බැංකු වෙත ද්‍රවශීලතාව ලබාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාවට නංවනු ලබන සුවිශේෂ නියාමන ක්‍රියාමාර්ග

කොවිඩ්-19 මගින් බලපෑමට පත් පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා සහන සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද ණය සහන යෝජනා ක්‍රමය සහ බැංකුවල අනෙකුත් හදිසි ද්‍රවශීලතා අවශ්‍යතා හේතුවෙන් බලපත්‍රලාභී වාණිජ බැංකු හා බලපත්‍රලාභී විශේෂිත බැංකුවල (බලපත්‍රලාභී බැංකුවල) ද්‍රවශීලතාවට සහ අනෙකුත් ප්‍රධාන කාර්ය සාධන දර්ශකයන් හට සිදු විය හැකි අහිතකර බලපෑම සලකමින්, බැංකුවල ද්‍රවශීලතා මට්ටම් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන ඇත.

මේ අනුව, මුදල් මණ්ඩලය විසින් මෙම සුවිශේෂී කාලයේ දී බැංකුවල හදිසි ද්‍රවශීලතා අවශ්‍යතා සපුරා ගැනීම සහ නො කඩවා ණය පහසුකම් සැලසීම තහවුරු කිරීම සඳහා බැංකු පනත සහ මුදල් නීති පනත ප්‍රකාර ව, බැංකුවල ද්‍රවශීලතා මට්ටම් ශක්තිමත් කිරීම සඳහා පහත සඳහන් අති විශේෂ නියාමන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

       අ)  ආර්ථිකය තුළ ඉල්ලුම වැඩි කිරීම සඳහා බැංකු ක්ෂේත්‍රය විසින් සහනදායී පොලී අනුපාත යටතේ කාරක ප්‍රාග්ධන ණය සහ අනෙකුත් ණය පහසුකම් ලබා දීම තහවුරු කරනු පිණිස ප්‍රතිමූල්‍ය පහසුකම් සහ අනෙකුත් ණය පහසුකම් ඔස්සේ අමතර අරමුදල් සැපයීම
       ආ) 2021 ජුනි 30 දින දක්වා ∶
                (i)    ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය ගණනය කිරීම සඳහා කොන්දේසිවලට යටත් ව ඇතැම් වත්කම් ද්‍රවශීල වත්කම් සේ සැලකීමට බලපත්‍රලාභී බැංකු වෙත අවසර ලබා දීම සහ
                (ii)    ද්‍රවශීලතා ආවරණ අනුපාතය සහ ශුද්ධ ස්ථායී අරමුදල් අනුපාතය සඳහා අවම අවශ්‍යතාව, වැඩි දියුණු කරන ලද සුපරීක්ෂණය සහ නිරන්තර වාර්තාකරණයට යටත් ව 90% දක්වා අඩු කිරීම
       ඇ) පිලිගත හැකි ඇප සුරැකුම් සහ ද්‍රවශීලතා පුරෝකථන පදනම් ව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ ද්‍රවශීලතා පහසුකම් හෝ හදිසි ණය සහ අත්තිකාරම් ලබා දීමේ රාමුව යටතේ බලපත්‍රලාභී බැංකු වෙත රුපියල් ණය සහ අත්තිකාරම් ලබා දීම

මේ අතර, මෙකී සුවිශේෂී අවස්ථාවේ දී බැංකුවල ද්‍රවශීලතා මට්ටම් ශක්තිමත් කිරීමේ අරමුණ පෙරදැරි ව, මුදල් මණ්ඩලය විසින් බලපත්‍රලාභී බැංකුවල ඇතැම් අභිමතානුසාරී ගෙවීම් (Discretionary Payments) සීමා කිරීමට තීරණය කර ඇත. මේ අනුව, 2020 දෙසැම්බර් 31 දක්වා වූ සීමිත කාලයකට බලපත්‍රලාභී බැංකුවල මුදල් ලාභාංශ ප්‍රකාශයට පත් කිරීම හෝ ලාභ  මෙරටින් බැහැර කිරීම, තම කොටස් නැවත මිලදී ගැනීම, කළමනාකරණ දීමනා හෝ අධ්‍යක්ෂ මණ්ඩල සඳහා ගෙවීම් ඉහළ දැමීම නැවැත්වීමට නියෝග කර ඇත. මෙයට අමතර ව, ඉහත සඳහන් කාල සීමාව තුළ බලපත්‍රලාභී බැංකු විසින් සිදු කරනු ලබන අත්‍යාවශ්‍ය නො වන සහ ප්‍රාග්ධන වියදම් සිදු කිරීමේ දී හැකි තාක් දුරට විචක්ෂණශීලී වීම හෝ වැළකී සිටීමට අවශ්‍ය වේ.

කොවිඩ්-19 ව්‍යාප්තිය නිසා බැංකු විසින් මුහුණ පා ඇති සම්පත් හිඟතාව සහ දැනට පවතින වෙළෙඳපොළ තත්ත්වය සැලකිල්ලට ගනිමින් දේශීය වශයෙන් පද්ධතිමය වැදගත්කමක් ඇති බැංකු සඳහා වාර්ෂික ඇගයුම 2020 වසර සඳහා නො පැවැත්වීමට සහ දේශීය වශයෙන් පද්ධතිමය වැදගත්කමක් ඇති බැංකු ලෙස 2019 දෙසැම්බර් මස දී ප්‍රකාශයට පත් කළ බැංකු 2020 වසර සඳහා ද එලෙස සැලකීමට මුදල් මණ්ඩලය විසින් තීරණය කර ඇත.

බලපත්‍රලාභී බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩල සහ ජ්‍යෙෂ්ඨ කළමණාකාරිත්වය හට ඒ ඒ බැංකු වල ද්‍රවශීලතා මට්ටම් සමීප ව නිරීක්ෂණය කිරීමට සහ අති විශේෂ නියාමන ක්‍රියාමාර්ග නිසා හට ගන්නා ද්‍රවශීල අරමුදල් විචක්ෂණශීලී ව අදාළ කටයුතු සඳහා පමණක් යොදා ගන්නා බවට සහතික කිරීමට කටයුතු කරන ලෙස දැඩි ව උපදෙස් දී ඇත. මෙම අති විශේෂ ක්‍රියාමාර්ග ඔස්සේ ආර්ථික කටයුතු යළි ප්‍රාණවත් කිරීම සඳහා බැංකු විසින් විචක්ෂණශීලි ව අඛණ්ඩ ණය ප්‍රවාහ ආර්ථිකයට සපයනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන අතර එමගින් මූල්‍ය ක්ෂේත්‍රය ද ඇතුළු ආර්ථිකයේ සියලු ම අංශ ප්‍රතිලාභ ලබනු ඇත. මීට පෙර නො වූ මෙවැනි කාල වකවානුවක මේ වන තෙක් ගෙන ඇති සියලු ක්‍රියාමාර්ගවල අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර ගැනීම සඳහා කොටස් හිමිකරුවන් ද  ඇතුළු බැංකු ක්ෂේත්‍රයේ සියලු ම සම්බන්ධිත පාර්ශ්වයන්ගේ සහයෝගය ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කර සිටී.

Published Date: 

Wednesday, May 13, 2020