කො.පා.මි.ද. මත පදනම් වූ උද්ධමනය 2020 ජනවාරි මාසයේ දී ඉහළ යයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100)   ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 දෙසැම්බර් මාසයේ පැවති සියයට 4.8හි සිට 2020 ජනවාරි මාසයේ දී සියයට 5.7 දක්වා ඉහළ යන ලදී. ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා දායක විය. ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2019 දෙසැම්බර් මාසයේ දී පැවති සියයට 6.3හි සිට 2020 ජනවාරි මාසයේ දී මාස 25කින් වාර්තා වූ ඉහළම අගය වන සියයට 12.4 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 2.9ක් ලෙස වාර්තා විය. 

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි දර්ශකයෙහි වෙනස, 2019 දෙසැම්බර් මාසයේ පැවති සියයට 4.3හි සිට 2020 ජනවාරි මාසයේ දී සියයට 4.5 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය. 

කො.පා.මි දර්ශකයෙහි මාසික වෙනස සියයට 1.7ක් ලෙස වාර්තා වූ අතර, ඒ සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල අයිතමයන්හි මිල ගණන්වල දක්නට ලැබුණු ඉහළ යෑම් හේතු විය. පසුගිය මාසයේ දී පැවති අයහපත් කාලගුණික තත්ත්වයේ බලපෑමෙන් ඇති වූ සැපයුම් හිඟයන් හේතුවෙන් ආහාර කාණ්ඩයෙහි එළවළු මිල ගණන් සැලකිය යුතු ඉහළ යන ලදී. මීට අමතරව, 2020 ජනවාරි මාසයේ දී පොල්, රතු ළූණු සහ පළතුරු මිල ගණන් ද ඉහළ යන ලදී. මේ අතර, නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන (නිවාස කුලී); අධ්‍යාපන (අමතර පන්ති ගාස්තු); සහ ආපනශාලා සහ හෝටල් යන උපකාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් ඉහළ යෑම මගින් ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි ද ඉහළ යෑමක් වාර්තා විය. කෙසේ වුවද, 2019 දෙසැම්බර් මාසයේ 01 දින සිට බලපැවැත්වෙන පරිදි රජය විසින් ක්‍රියාත්මක කළ බදු පහළ දැමීම්වල බලපෑම පිළිබිඹු කරමින් සෞඛ්‍ය සහ සන්නිවේදන උපකාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් 2020 ජනවාරි මාසයේ දී පහළ යන ලදී.

ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2019 දෙසැම්බර් මාසයේ දී පැවති සියයට 4.8හි සිට 2020 ජනවාරි මාසයේ දී සියයට 3.0 දක්වා පහළ ගිය අතර වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය ද 2019 දෙසැම්බර් මාසයේ දී පැවති සියයට 5.5හි සිට 2020 ජනවාරි මාසයේ දී සියයට 5.3 දක්වා පහළ යන ලදී.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Friday, January 31, 2020