මුදල් ප්‍රතිපත්ති විවරණය - 2015 දෙසැම්බර්

පුළුල් මුදල් සැපයුම (M2b) වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2014 පෙර මාසයේ වාර්තා වූ සියයට 16.0 සිට 2015 ඔක්තෝබර් මාසයේ දී සියයට 17.0ක ඉහළ අගයකින් තවදුරටත් වර්ධනය වූ අතර මේ සඳහා බැංකු පද්ධතිය මගින් පෞද්ගලික හා රාජ්‍ය අංශවලට ලබා දුන් ණය වර්ධනය දායක විය. පෞද්ගලික අංශය වෙත වාණිජ බැංකු විසින් සපයන ලද ණය ප්‍රමාණය, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පෙර මාසයේ වාර්තා වූ සියයට 22.2ක වර්ධනය හා සාපේක්ෂ ව සියයට 26.3කින් වර්ධනය විය.  පෞද්ගලික අංශය වෙත වූ ණය ගලා යෑම තවදුරටත් ඉහළ අගයකින් වර්ධනය වී ඇතැයි 2015 නොවැම්බර් මාසය සඳහා වූ තාවකාලික දත්ත මගින් ද තහවුරු වේ. මේ අතර, මුදල් වෙළෙඳපොළ අතිරික්ත ද්‍රවශීලතාව අඛණ්ඩ ව ඉහළ අගයක පැවතීම ද මුදල් ප්‍රසාරණය ඉහළ නැංවීමට හේතු වී ඇත.  

මේ අතර, කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2006/2007 = 100) මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2015 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ සියයට 1.7 සිට 2015 නොවැම්බර් මාසයේ දී සියයට 3.1 දක්වා ඉහළ ගියේ ය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන මතුපිට උද්ධමනය ද පෙර මාසයේ පැවැති සියයට 0.7 හා සැසඳීමේ දී 2015 නොවැම්බර් මාසයේ දී සියයට 0.9 දක්වා වැඩි විය. සමාන ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් ජාතික පාරිභෝගික මිල දර්ශකය (2013 = 100) මත පදනම් වූ මතුපිට උද්ධමනය ද වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2015 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ සියයට 3.0 සිට 2015 නොවැම්බර් මාසයේ දී සියයට 4.8 දක්වා වැඩි විය. ආර්ථිකයේ සමස්ත ඉල්ලුම් තත්ත්ව වර්ධනය වීම පිළිබිඹු කරමින් කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මූලික උද්ධමනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පෙර මාසයේ පැවැති සියයට 4.4 හා සැසඳීමේ දී මෙන් ම 2015 පෙබරවාරි මාසයේ වාර්තා වූ සියයට 0.8ක අවම අගය හා සැසඳීමේ දී 2015 නොවැම්බර් මාසයේ දී සියයට 4.3ක් විය. මේ අතර, ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මූලික උද්ධමනයේ හැසිරීම තුළින් ද ආර්ථිකයේ ඉස්මතු වන යටිදැරි උද්ධමන පීඩන පිළිබිඹු කෙරිණි.  

විදේශීය අංශය සැලකූ විට, 2015 ඔක්තෝබර් මාසය තුළ දී ආනයන වියදම් පහළ යෑම අපනයන ආදායම් අඩු වීමට වඩා ඉහළ අගයක පැවතීම හේතුවෙන් වෙළෙඳ හිඟය එක්සත් ජනපද ඩොලර් මිලියන 791ක් දක්වා සියයට 6.8කින් අඩු විය. කෙ සේ වෙතත්, ඉන්ධන නො වන ආනයනවල සිදු වූ අඛණ්ඩ ඉහළ යෑම පිළිබිඹු කරමින් 2015 වසරේ පළමු මාස දහය තුළ දී වෙළෙඳ හිඟය එක්සත් ජනපද ඩොලර් මිලියන 6,936 දක්වා සියයට 2.5කින් පුළුල් විය. මේ අතර, 2015 වසරේ පළමු මාස එකොළහ තුළ දී සංචාරක අංශයේ ඉපැයීම් සියයට 18.1කින් වර්ධනය වී ඇතැයි ඇස්තමේන්තුගත කර ඇති අතර සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ වසරේ පළමු මාස එකොළහ තුළ දී සියයට 0.8ක සුළු වර්ධනයක් වාර්තා කර ඇත. 2015 ඔක්තෝබර් මාසය අග වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 6.5ක අගයක් වාර්තා කළ දළ නිල සංචිත ප්‍රමාණය 2015 නොවැම්බර් මාසය අග වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 7.3ක් දක්වා වර්ධනය වී ඇතැයි ඇස්තමේන්තු කර ඇත. දේශීය සහ විදේශීය ප්‍රවණතා පිළිබිඹු කරමින් 2015 වසරේ මේ දක්වා කාලය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ ව ශ්‍රී ලංකා රුපියල සියයට 8.8කින් අවප්‍රමාණය වී ඇත. විදේශීය අංශයේ මෙම ප්‍රවණතා මධ්‍යයේ වුව ද දැනට ක්‍රියාත්මක කොට ඇති විදේශීය අංශයේ ප්‍රතිපත්ති සඳහා තවදුරටත් සහාය වීම සඳහා දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගත යුතු බව මුදල් මණ්ඩලයේ අදහස විය. 

දේශීය මුදල් වෙළෙඳපොළේ දැනට පවතින අතිරික්ත ද්‍රවශීලතාව දීර්ඝ කාලයක් පුරා ඉහළ මට්ටමක පැවතුණහොත් එය අධික මුදල් ප්‍රසාරණයකට හේතු විය හැකි අතර එ මගින් ඉදිරි කාලයේ දී ආර්ථිකයේ උද්ධමන පීඩන ඇති වීමට ඉඩ තිබේ. එ බැවින් අඛණ්ඩ ව මුදල් සහ මිල ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා ඉල්ලුමෙන් ජනිත වන උද්ධමන පීඩන ඉහළ යෑම සීමා කිරීම යෝග්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස විය. 

ඒ අනුව, 2015 දෙසැම්බර් මස 30 දින පැවැති මුදල් මණ්ඩල රැස්වීමේ දී 2016 ජනවාරි මස 16 වැනි දින ආරම්භ වන සංචිත කාල පරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සියයට 7.50 දක්වා ප්‍රතිශතාංක 1.50කින් ඉහළ නැවීමට මුදල් මණ්ඩලය තීරණය කරන ලදි. තව ද, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් සියයට 6.00 සහ සියයට 7.50 මට්ටමේ තවදුරටත් නො වෙනස් ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේ ය.  

මුදල් ප්‍රතිපත්ති තීරණය: ප්‍රතිපත්ති පොලී අනුපාතික නො වෙනස් ව පවතී. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඉහළ නංවන ලදි.
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය  (SDFR) 6.00%
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය  (SLFR) 7.50%
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) 7.50%

 

 

 

 

 

 

 

 

Published Date: 

Wednesday, December 30, 2015