නව නියෝජ්‍ය අධිපතිවරයකු පත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති සුනිල් ලංකාතිලක මහතා 2016 ජනවාරි 24 වැනි දින සිට එම බැංකුවේ නියෝජ්‍ය අධිපති තනතුර සඳහා ගරු මුදල් අමාත්‍යතුමාගේ අනුමැතිය සහිත ව මුදල් මණ්ඩලය විසින් පත් කර ඇත. 

එස් ලංකාතිලක මහතා

මෙම තනතුරට පත් වන විට එස් ලංකාතිලක මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික සහ මිල ස්ථායිතාව, මූල්‍ය පද්ධති ස්ථායිතාව සහ නියෝජිත කාර්යයන් පිළිබඳ වසර 30 ක පමණ කාලයක් සේවය කර ඇත. මෙම පත් වීමට පෙර ඔහු බැංකු අධීක්ෂණ, බැංකු නො වන මූල්‍ය ආයතන අධීක්ෂණ හා මූල්‍ය අංශ පර්යේෂණ යන දෙපාර්තමේන්තු සහ මූල්‍ය බුද්ධි ඒකකය අධීක්ෂණය භාර සහකාර අධිපති තනතුර දැරී ය. 

සුනිල් ලංකාතිලක මහතා එංගලන්තයේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විදයාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හා පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පළමු පෙළ පන්ති සාමාර්ථයක් සහිත ව වාණිජ්‍යවේදී ගෞරව උපාධියක් ද ලබා ඇත. ඔහු පසුගිය වසර 30 ක පමණ මහ බැංකු සේවා කාලය තුළ සාර්ව ආර්ථික කළමනාකරණය, සාර්ව ආර්ථික ආකෘතිකරණය, වෙළෙඳ ප්‍රතිපත්ති, තරගකාරිත්වය, ව්‍යාපෘති කළමනාකරණය, විදේශ ආයෝජන, උපායමාර්ගික කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, සන්නිවේදන ප්‍රතිපත්ති ආදී ක්ෂේත්‍රයන්ට අදාළ ව විදේශීය පුහුණු වැඩසටහන් රැසකට සහභාගී වී ඇත. ලංකාතිලක මහතා ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ හිමිකම් රක්ෂණ අරමුදලේ කළමනාකරණ මණ්ඩලය, ජාතික කම්කරු උපදේශක කමිටුව සහ වෙනත් කමිටු රැසක සාමාජිකයකු ලෙස කටයුතු කර ඇත. ලංකාතිලක මහතා විශේෂයෙන් ම බැංකු කටයුතු සබඳතා, ආයෝජන ප්‍රවර්ධන සහ ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා යන අංශ පිළිබඳ රාජ්‍ය දූත මණ්ඩලවල ක්‍රියාකාරිත්ව දායකත්වයක් සපයමින් ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කර ඇත. එ මෙන් ම ලංකාතිලක මහතා මුදල් ප්‍රතිපත්ති කමිටුවේ සහ මූල්‍ය පද්ධති ස්ථායිතා කමිටුවේ සාමාජිකයකු ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික අරමුණු ළඟා කර ගැනීමේලා සක්‍රීය දායකත්වයක් සපයා ඇත. 

ලංකාතිලක මහතා සුළු පරිමාණ ව්‍යවසායකත්ව ණය සහ කෘෂිකාර්මික ණය බෙදා හැරීම වැඩිදියුණු කිරීමට සහ ප්‍රාදේශීය සංවර්ධනය යටතේ දැනට පවතින ණය ව්‍යාපෘති ක්‍රමවත් කිරීම සඳහා ක්‍රියාමාර්ග රැසක් හඳුන්වා දී ඇති අතර දුර බැහැර ප්‍රදේශවල ගොවීන්ට ණය මුදල් ගලා යන පරිදි මූල්‍ය අන්තර්ගතභාවය දියුණු කිරීම සඳහා නව වැඩසටහන් ඇරඹීමට මග පෙන්වා ඇත. ලංකාතිලක මහතා විශේෂයෙන් ම කුඩා පරිමාණ කර්මාන්ත, ජාත්‍යන්තර වෙළෙඳාම, මැණික් කර්මාන්තය සහ ඇඟළුම් කර්මාන්තය ආදී ක්ෂේත්‍ර පිළිබඳ ලිපි රැසක් ලියා ඇති අතර ඒවා පිළිගත් දේශීය සහ විදේශීය ප්‍රකාශනවල පළ කර ඇත. 

ලංකාතිලක මහතා ව්‍යාපෘති කළමනාකරණය, ව්‍යාපෘති ඇගයීම්, ගිලන් ව්‍යාපෘති සහ ආර්ථික විද්‍යාව යන ක්ෂේත්‍රයන් පිළිබඳ ව විවිධ තරාතිරමේ සමුළු සඳහා පිළිගත් සම්පත්දායකයෙකි. 

 

Published Date: 

Wednesday, January 27, 2016