බැංකු අධ්‍යක්ෂවරයෙකු බැඳියාවක් දක්වනු ලබන ආයතනයකට හෝ ව්‍යාපාරයකට ලබා දෙනු ලබන ණය සම්බන්ධයෙන් කරනු ලබන පැහැදිලි කිරීමයි

බලපත්‍රලාභී බැංකුවක (මින් මතු, බැංකුව) අධ්‍යක්ෂවරයෙකු විසින් සෘජු ව හෝ වක්‍ර ලෙස බැඳියාවක් දක්වනු ලබන ව්‍යාපාරයක් සඳහා ලබා දෙනු ලබන ණය පිළිබඳ ව මෑතක දී මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා ඉදිරිපත් කර තිබූ කරුණු සැලකිල්ලට ගනිමින් ඒ හා අදාළ වන නියාමන සහ අධීක්ෂණ රෙගුලාසි පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.

සාමාන්‍යයෙන් බැංකු විසින් පුද්ගලයින්, ආයතන, රජය, රාජ්‍ය ආයතන, ව්‍යවස්ථාපිත ආයතන, පුද්ගල සමිති සමාගම් හා අනෙකුත් ආයතන යනාදී විවිධ ණය ලබාගන්නන් හට ණය පහසුකම් ලබා දෙනු ලබයි. මෙම ණය පහසුකම් අදාළ බැංකුවේ ණය දීමේ ප්‍රතිපත්ති, ණය තක්සේරු කිරීමේ සහ ණය ලබා දීමේ ක්‍රියා පටිපාටි මත තීරණය වේ. බැංකුවේ ණය අවදානම් කළමනාකරණය කිරීම අදාළ බැංකුවේ ඒකාබද්ධ අවදානම් කළමනාකරණ රාමුවට (Integrated Risk Management Framework) අනුව සිදු කළ යුතු අතර බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අදාළ ණය අවදානම් කළමනාකරණ උපාය මාර්ග, ණය අවදානම් ප්‍රතිපත්ති සම්පාදනය සහ කාලීන ව සමාලෝචනය කිරීම සිදු කළ යුතු වේ. මෙකී ණය පහසුකමක් ආපසු ගෙවීමට අපොහොසත් වන අවස්ථාවක දී  බැංකුව විසින් අදාළ ණය පහසුකම අක්‍රීය ණය පහසුකමක් ලෙස වර්ගීකරණය කළ යුතු අතර ඒ සම්බන්ධ ව බලපැවැත්වෙන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති විධානයන්ට අනුව මෙම අක්‍රිය ණය සඳහා ප්‍රමාණවත් වෙන් කිරීම් සිදු කිරීමට සහ මේ සම්බන්ධ ව වන ආදායම් හඳුනා ගැනීම් තාවකාලික ව නැවැත්වීමට ද කටයුතු කළ යුතු ය. තව ද බැංකු පනත් විධානයන්හි සඳහන් උපරිම සීමාවන්ගෙන් ඔබ්බට කිසිදු පුද්ගලයෙකුට, ආයතනයකට හෝ ආයතන සමූහයකට ණය ලබා දිය නො හැකි ය.

බැංකු පනත සහ බලපැවැත්වෙන අනෙකුත් විධානයන්ට අනුව බැංකුවලට තම බැංකුවේ අධ්‍යක්ෂවරයෙකුට, එම අධ්‍යක්ෂවරයාගේ සමීප ඥාතියෙකුට හෝ අධ්‍යක්ෂවරයෙකු විසින් සෘජු ව හෝ වක්‍ර ලෙස බැඳියාවක් දක්වන ව්‍යාපාරයකට ණය ලබා දීම වළක්වා නොමැත. නමුත් මේ ආකාරයෙන් ණය ලබා දීමේ දී බැංකුවට හා බැංකුවට අදාළ අනෙකුත් පාර්ශ්වයන්ට අහිතකර වන ආකාරයෙන් ඇති විය හැකි අනිසි බලපෑම් මඟහැරවීම සඳහා මෙ වැනි ණය දීමක දී බැංකු හට අමතර විචක්ෂණශීලී අවශ්‍යතාවලට යටත් ව කටයුතු කිරීමට සිදු වේ.

මේ සම්බන්ධයෙන් බලපැවැත්වෙන්නා වූ අමතර විචක්ෂණශීලී අවශ්‍යතාවන් පහත පරිදි වේ ∶

(i)බැංකුවක් විසින් එම බැංකුවේ අධ්‍යක්ෂවරයෙකුට, අධ්‍යක්ෂවරයෙකුගේ සමීපතම ඥාතියෙකුට හෝ අධ්‍යක්ෂවරයෙකු සැලකිය යුතු බැඳියාවක් දක්වන, එ නම්, 10%කට වඩා කොටස් අයිතිය දරන, ව්‍යාපාරයකට ණය පහසුකමක් ලබා දීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක දී අදාළ අධ්‍යක්ෂවරයා හැර මුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ 2/3කට නො අඩු පිරිසකගේ අනුමැතිය ලබා ගත යුතු ය. මේ අනුව ලබා දෙන ණය පහසුකම් සම්බන්ධිත පාර්ශ්ව හා කෙරෙන ගනුදෙනු ලෙස හඳුනා ගැනේ.

(ii)ඉහත (i) හි සඳහන් ණය පහසුකම් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කළ ඇපයක්/සුරැකුමක් මගින් සුරක්ෂිත කළ යුතු ය.

(iii)බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩලයට සාමාජිකයන් තෝරා පත් කර ගැනීමේ දී එ සේ තෝරා පත් කර ගනු ලබන යම් පුද්ගලයෙකුට, ඔහුගේ සමීපතම ඥාතියෙකුට හෝ ඔහු විසින් සැලකිය යුතු බැඳියාවක් දක්වනු ලබන ව්‍යාපාරයකට බැංකුව විසින් ණය පහසුකමක් ලබා දී ඇති නම්, බැංකු පනත ප්‍රකාර ව අදාළ අධ්‍යක්ෂවරයා පත් කිරීමෙන් වසරකට නො අඩු කාලයක් තුළ දී මුදල් මණ්ඩලය මගින් අනුමත කර ඇති ඇපයක් ලබා ගැනීමට කටයුතු කළ යුතු ය.

(iv)බැංකුවක අධ්‍යක්ෂවරයෙකු බැංකුව විසින් ලබා දෙන ණය පහසුකමක් සම්බන්ධ ව කවර ආකාරයක හෝ සෘජු හෝ වක්‍ර ලෙස බැඳියාවක් දක්වන විටෙක, අදාළ අධ්‍යක්ෂවරයා විසින් එම බැඳියාවේ ස්වභාවය බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත හැකිතාක් ඉක්මනින් දන්වා සිටිය යුතු ය.

(v)බැංකු අධ්‍යක්ෂවරයෙකු ඔහුට හෝ ඔහුගේ සමීපතම ඥාතියෙකුට හෝ ඔහු විසින් සැලකිය යුතු බැඳියාවක් දක්වනු ලබන ව්‍යාපාරයක් සම්බන්ධයෙන් වන ව්‍යාපාරික ගනුදෙනු පිළිබඳ ව අධ්‍යක්ෂ මණ්ඩලයේ කරනු ලබන කිසිදු සාකච්ඡාවක් හෝ විචාරණයක් සඳහා සහභාගී නො විය යුතු අතර අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අතරතුර එකී ව්‍යාපාරික ගනුදෙනු පිළිබඳ සාකච්ඡාවට හෝ විචාරණයට ගනු ලබන අවස්ථාවන්හි දී එම අධ්‍යක්ෂවරයා අදාළ රැස්වීමෙන් ඉවත් ව යා යුතු ය.

(vi)බැංකුවක අධ්‍යක්ෂවරයෙකුට හෝ අධ්‍යක්ෂවරයෙකුගේ සමීපතම ඥාතියෙකු හට බැංකුව විසින් ණය පහසුකමක් ලබා දී ඇති විට ඒ බව, අදාළ මූල්‍ය වර්ෂයට අදාළ ගිණුම් වාර්තාවල අනාවරණ කළ යුතු අතර ඉන් මතුවට එම මුළු ණය මුදල ම ගෙවී යන තුරු හෝ පියවා දමන තෙක් සෑම මූල්‍ය වර්ෂයක ම වාර්ෂික ගිණුම් වාර්තාවන්හි අනාවරණය කළ යුතු ය.

(vii)මුදල් මණ්ඩලයේ පූර්ව අවසරයකින් තොර ව බැංකුවක අධ්‍යක්ෂවරයෙකු හෝ ඔහුගේ සමීපතම ඥාතියෙකු හෝ ඔහු විසින් සැලකිය යුතු බැඳියාවක් දක්වනු ලබන ව්‍යාපාරයක් හට ලබා දී ඇති කිසිදු ණය පහසුකමක් කපා නො හැරිය යුතු ය.

(viii)ආයතනික යහපාලනය  පිළිබඳ බැංකු පනත් විධානයට අනුව බැංකුව විසින් බැංකුව හා “සම්බන්ධිත පාර්ශ්ව” සමඟ ගනුදෙනු කිරීමේ දී අදාළ පාර්ශ්වයන් හට ඊට සමාන ගනුදෙනු සිදු කරනු ලබන අනෙකුත් ගනුදෙනුකරුවන්ට වඩා වැඩි “වාසිදායක සැලකිල්ලක්” සිදු නො වන ආකාරයෙන් සිදු කිරීමට බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය වගබලා ගත යුතු ය.

ඉහත සඳහන් කළ කරුණුවලට අමතර ව, සියලු ම බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩල විසින් ඒ ඒ බැංකුවේ ප්‍රමාණය, ස්වභාවය සහ සංකීර්ණත්වය සැලකිල්ලට ගනිමින් අතිරේක අවදානම් කළමනාකරණ විධික්‍රම යොදා ගැනීමට කටයුතු කළ යුතු වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය සුපරීක්ෂණ භූමිකාව තුළ මූල්‍ය පද්ධතියේ තිරසාරත්වය, ආයතනික යහපාලනය, අවදානම් කළමනාකරණය සහ අභ්‍යන්තර පාලන විධි සම්බන්ධ ව අවධානය යොමු කරන අතර මෙහි දී ඉහත සඳහන් කළ අධ්‍යක්ෂවරුන් හෝ ඔවුන්ට සෘජු හෝ වක්‍ර ලෙස බැඳියාවක් ඇති ව්‍යාපාරයන්ට ණය ලබාදීම් ද ඇතුළත් වේ. මෙකී කාරණා සම්බන්ධ ව බැංකු විසින් අනුකූල නො වන අවස්ථාවන්හි දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් උචිත නියාමන ක්‍රියාමාර්ග ගනු ලබන අතර අදාළ බැංකු එකී අවශ්‍යතා හා අනුගත වන තෙක් ඒ පිළිබඳ පසුවිපරම් කිරීමටත් අවශ්‍ය අවස්ථාවන්හි දී නියාමන සීමා පැනවීමටත් කටයුතු කෙරේ.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව තහවුරු කිරීම සහ තැන්පතුකරුවන්ගේ හා අනෙකුත් ණය හිමියන්ගේ  හිමිකම් සුරක්ෂිත කිරීමේ අරමුණින් බැංකු පනත සහ අනෙකුත් අදාළ විධිවිධානයන්ට අනුකූල ව, බැංකු සිය ව්‍යාපාර කටයුතු මූල්‍ය ස්ථායිභාවයකින් හා ශක්තිමත් ව පවත්වා ගෙන යෑම තහවුරු  කිරීම සඳහා අධීක්ෂණ ක්‍රියාවලියක් ක්‍රියාවට නංවා ඇත. 

 

 

Published Date: 

Friday, August 17, 2018