විදේශ ණය සහ විදේශ සංචිත - දළ නිල සංචිත උපයෝජනය විශ්ලේෂණය කිරීමේ දී ණය ගැනීම් පමණක් නො ව ණය සේවාකරණය පිළිබඳ ව ද අවධානය යොමු කළ යුතුයි

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත සහ විදේශීය ණය සේවාකරණය සම්බන්ධයෙන් ජනතාව නො මග යවන ආකාරයේ පුවත්පත් වාර්තාවක් පළ වී ඇත.

එම පුවත්පත් වාර්තාවේ අන්තර්ගතය තුළින් රටේ විදේශීය අංශයේ තත්ත්වය පිළිබඳ වැරදි අර්ථ කථනයක් ලබා දී ඇත. 2015-2018 කාලපරිච්ඡේදය තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 8.9ක් වූ රජයේ ණය ගැනීම් මහ බැංකු සංචිත තුළට අවශෝෂණය කර ගත් බව එම පුවත්පත් වාර්තාවේ සඳහන් කර ඇති නමුත්, රජයේ නිල ණය කළමනාකරු ලෙස වගකීම දරන මහ බැංකුව විසින් මෙම කාල පරිච්ඡේදය තුළ සංචිත ප්‍රයෝජනයට ගනිමින් සිදු කළ සැලකිය යුතු ප්‍රමාණයක විදේශ ණය ආපසු ගෙවීම් සම්බන්ධයෙන් අවධානයක් යොමු කර නැත.

2015 සිට රජය විදේශ සංචිත ප්‍රයෝජනයට ගනිමින් ප්‍රාග්ධන සහ පොලී ගෙවීම් ලෙස එක්සත් ජනපද ඩොලර් බිලියන 7.5ක පමණ විදේශීය ණය ආපසු ගෙවීමක් සිදු කර ඇත. සරල ආකාරයකින් දැක්වුවහොත්, 2014 අවසානයේ දී පැවති දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 8.2ක් විය. 2015 සිට මේ දක්වා වන කාලය තුළ අමතර ණය ගැනීම් හෝ ණය නො වන මාර්ග‍වලින් සංචිත ඉහළ යෑමක් සිදු නො වූයේ නම්, එක්සත් ජනපද ඩොලර් බිලියන 7.5ක පමණ වූ විදේශීය ණය සේවාකරණ ගෙවීම් හේතුවෙන් එවකට පැවති දළ නිල සංචිත මට්ටම මේ වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 0.7ක් පමණ තෙක් පහළ යා හැකි ව තිබුණි.

ශ්‍රී ලංකාව වැනි ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟයක් පවතින රටකට දශක කිහිපයක් පුරා සිය සංචිත ගොඩ නංවා ගැනීම සඳහා විදේශීය ණය මත යැපීමට සිදු වී ඇත.

රටේ වර්තමාන දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 9.1ක් වේ. 2018 ජුනි මැද වන විට එම දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 11ක් දක්වා ඉහළ යනු ඇතැ යි අපේක්ෂා කෙරේ (කරුණාකර මීට පෙර නිකුත් කළ ශ්‍රී ලංකා මහ බැංකු පුවත්පත් නිවේදනය බලන්න).

තව ද, රටේ නො පියවා ඉතිරි ව ඇති ණය ප්‍රමාණය ආපසු ගෙවීම එක වර වසරක් තුළ දී සිදු නො කරන අතර, එය වසර ගණනාවක් පුරා සිදු කෙරෙන්නක් බව සඳහන් කළ යුතු ව ඇත. පුවත්පත් වාර්තාවේ සඳහන් වූ එක්සත් ජනපද ඩොලර් බිලියන 8.9ක ණය ප්‍රමාණය කල්පිරීම සඳහා ගත වන කාලයේ බර තැබූ සාමාන්‍යය වසර 5.1කි. 2018 අප්‍රේල් මස අවසන් වන විට 2018 - 2022 කාල පරිච්ඡේදය තුළ දී විදේශීය ණය සේවාකරණ අවශ්‍යතාව සාමාන්‍යයෙන් වසරකට එක්සත් ජනපද ඩොලර් බිලියන 3.9ක් පමණ වේ. එම නිසා, සිය විදේශීය ණය සේවාකරණ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ප්‍රමාණවත් විදේශ සංචිත රට සතු ව පවතී. 

විදේශීය ණය ලබා ගැනීම්වල පිරිවැය සහ ප්‍රතිලාභ තක්සේරු කිරීමේ දී, එම ණය, යටිතල පහසුකම් සහ මූලික සේවාවන්හි ආයෝජනය කිරීම තුළින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ ව ද සැලකිල්ල යොමු කිරීම වැදගත් වේ. රජයේ ණය ගැනීම් මගින් ආර්ථික වර්ධනය සඳහා වන ආයෝජන අවශ්‍යතා සපුරා ගත හැකි වුව ද, එවන් ආයෝජන ඵලදායී සහ සැලකිය යුතු ප්‍රතිලාභ සපයන බව තහවුරු කර ගැනීම වැදගත් වේ. එවන් ප්‍රතිලාභ වඩාත් පුළුල් පරාසයක් තුළ පැතිරුණු සමාජ ආර්ථික ප්‍රතිලාභ විය හැකි ය. කෙ සේ වුවත්, රජයේ ණය ගැනීම්, එම ණය සහ පොලිය නැවත ගෙවීමට ප්‍රමාණවත් තරම් ප්‍රතිලාභ නො ලැබෙන, ඵලදායී නො වන යටිතල පහසුකම්වල ආයෝජනය කළහොත් ණය ආපසු ගෙවීමේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රජයට අඛණ්ඩ ව ණය ලබා ගැනීමට සිදු වනු ඇත. එම නිසා, ලබා ගන්නා විදේශීය ණය ශක්‍යතාවක් නොමැති ව්‍යාපෘතිවල ආයෝජනය කිරීම තුළින් තිරසාර නො වන මට්ටමකට රාජ්‍ය ණය එක් රැස්වීමක් සිදු වේ. රජය විසින් ණය ලෙස ලබා ගන්නා විදේශ විනිමය, රජයට තම දේශීය වියදම් සපුරා ගැනීම සඳහා අවශ්‍ය කරන රුපියල් ලබා දෙමින් මහ බැංකුව විසින් මිලට ගනු ලබයි. රජයේ ණය ගැනීම් පිරිවැයට සමාන ප්‍රතිලාභයක් විදේශ සංචිත කළමනාකරණය කිරීම තුළින් ලබා ගත හැකි වේ යැ යි මහ බැංකුව අපේක්ෂා නො කරයි.

විදේශ සංචිත කළමනාකරණයේ මූලික අරමුණ වන්නේ සංචිත සැලකිය යුතු ලෙස අඩු වීමට හේතු වන අන්දමේ ඉහළ අවදානමක් සහිත ආයෝජන මගින් විය හැකි අනිසි පාඩුවලින් තොර ව සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීම යි. එම නිසා, විදේශ සංචිත කළමනාකරණය කිරීමේ දී මහ බැංකුව සම්ප්‍රදායානුකූල ප්‍රවේශයක් අනුගමනය කරයි. මහ බැංකුවේ විදේශ සංචිත කළමනාකරණයේ ප්‍රධාන අරමුණ එම සංචිත ආයෝජනය කිරීම මගින් ලාභ ඉපැයීමට වඩා එහි ආරක්ෂාව පිළිබඳ ව අවධානය යොමු කිරීම බැවින් සංචිත ආයෝජනය කිරීමේ දී ලැබෙන ඵලදා අනුපාතිකය, ණය ගැනීමේ පිරිවැය සමඟ සැසඳීම සම්පූර්ණයෙන් ම නො මඟ යවන සුළු වේ.

එම පුවත්පත් වාර්තාව මගින් තවදුරටත් සඳහන් කරන පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2015 වසරේ සිට 2017 දක්වා කාලය තුළ දී ලබාගත් විදේශ සංචිතවල ආයෝජනයට වඩා ඉහළ ප්‍රතිලාභයක් 2010 වසරේ සිට 2014 දක්වා කාලය තුළ දී ලබා ගෙන ඇත. පළමු කාල පරිච්ඡේදය තුළ වාර්තා වූ ඉහළ ප්‍රතිලාභ සඳහා රත්‍රන් මිල ඉහළ යෑම සහ ගෝලීය මූල්‍ය අර්බුදය හමුවේ ලෝකයේ බොහෝ මහ බැංකු පොලී අනුපාත පහත දැමීම සමඟ බැඳුම්කර මත වූ ප්‍රාග්ධන ලැබීම් ඉහළ යෑම හේතු විය. දෙවන කාල පරිච්ඡේදයේ දී රත්‍රන් මිල පහළ යෑමක් දක්නට ලැබුණු අතර, ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් සංචිත බැංකුව මගින් පොලී අනුපාත ඉහළ දැමීම හේතුවෙන් ගෝලීය පොලී අනුපාත තත්ත්වය ද වෙනස් වී ඇත.

ලෝක බැංකුවේ සංචිත උපදේශන සහ කළමනාකරණ වැඩසටහනෙහි ද සහයෝගය ලබා ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව දැනට විචක්ෂණශීලී සංචිත කළමනාකරණ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. රටේ සංචිත අනිසි අවදානමකට ලක් කරන සමපේක්ෂණ ආයෝජන (Speculative Investment) වැළැක්වීම සඳහා ඉහළ ප්‍රමුඛතාවක් ලබා දී ඇත. මහ බැංකුවක් විසින් විදේශ සංචිත කළමනාකරණය කිරීමේ දී සලකා බලන කරුණක් වනුයේ ඒ සම්බන්ධ ව කොතරම් දුරකට අවදානම් දැරීමට සූදානම් ද යන්නයි. වාණිජ අරමුදල් කළමනාකරුවකු විසින් දරනු ලබන අවදානමට සමාන අවදානමක් ගැනීම මහ බැංකුවකට නුසුදුසු වනු ඇත. ඒ අනුව, විදේශ සංචිත ආයෝජනයේ දී මහ බැංකුව ආරක්ෂණ, ද්‍රවශීලතා සහ ප්‍රතිලාභ යන අරමුණු අතර මනා සමබරතාවක් පවත්වා ගනියි. මහ බැංකුවේ සංචිත ප්‍රමාණය ජාත්‍යන්තර ව පිළිගත් මිනුම් දඬුවලට අනුකූල ව කළමනාකරණය කරනු ලැබේ.

Published Date: 

Tuesday, May 22, 2018