ශ්‍රී ලංකා මහ බැංකුවේ 2017 වසර සඳහා වන වාර්ෂික වාර්තාව

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 68 වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ගරු මුදල් හා ජනමාධ්‍ය  අමාත්‍ය  මංගල සමරවීර මහතා වෙත පිළිගන්වන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය විසින් පසුගිය දෙවසර තුළ දී අනුගමනය කරන ලද ස්ථායීකරණ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ආර්ථිකයේ කැපී පෙනෙන වර්ධනයන් ගණනාවක් සඳහා හේතු වුව ද, පසුගිය වසර කිහිපය තුළ වාර්තා කළ අඩු ම මූර්ත වර්ධන වේගය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධන වේගය 2017 වසරේ දී මන්දගාමීත්වයක් පෙන්නුම් කළේ ය. 2015 වසර අවසානයේ සිට ක්‍රමයෙන් දැඩි කරන ලද මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 25කින් ඉහළ නැංවීම මගින් 2017 වසරේ මාර්තු මාසයේ දී තවදුරටත් දැඩි කළේ ය. එ සේ ම, වැඩි වෙමින් පැවති පොලී අනුපාතික ඉහළ මට්ටමක ස්ථාවර වීමට ද ඉඩ සැලසී ය. කෙ සේ වුව ද, 2015 සහ 2016 වසර තුළ පැවති වෙළෙඳපොළ අසමතුලිතතා නිවැරදි කරමින් රජ‍යේ සුරැකුම්පත් වෙළඳපොළෙේ ඇති වූ සාධනීය වෙනස්කම්, සුරැකුම්පත් මත ඵලදා අනුපාතික සැලකිය යුතු ලෙස පහත වැටීම සඳහා හේතු වූ අතර, වසර අවසානය වන විට ඇතැම් වෙළෙඳපොළ පොලී අනුපාතික අඩුවීම සඳහා ද එ මගින් බලපෑමක් ඇති විය. නාමික සහ මූර්ත පොලී අනුපාතික ඉහළ මට්ටමක පැවතීම සහ යෝග්‍ය සාර්ව විචක්ෂණ ක්‍රියාමාර්ග, 2017 වසරේ දී මුදල් සමස්තවල වර්ධනය ක්‍රමයෙන් මන්දගාමී වීම සඳහා හේතු විය. 

සම්පුර්ණ ලිපිය

Published Date: 

Thursday, April 26, 2018