ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් කෙරෙන ප්‍රකාශයයි

2015 පෙබරවාරි 1 සිට 2016 මාර්තු 31 දක්වා කාලය තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ සම්බන්ධවත්, රාජ්‍ය ණය සහ සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය සහ පරිපාලනය විධිමත් කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුුදල් මණ්ඩලය විසින් කරනු ලබන ප්‍රකාශය.

2015 පෙබරවාරි 1 සිට 2016 මාර්තු 31 දක්වා කාලය තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිසන් සභා වාර්තාව එහි ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සලකා බැලීම සඳහා ජනාධිපති ලේකම්තුමා විසින් 2018 ජනවාරි 10 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා වෙත භාර දෙනු ලැබිණි.

මහ බැංකුව විසින් දැනටමත් එහි අඩංගු ඇතැම් නිර්දේශ ක්‍රියාවට නංවා ඇති අතර අනෙකුත් නිර්දේශ කිහිපයක් ද ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ. මුදල් මණ්ඩලය විසින් එම පියවර ගැනීමේ දී නිසි පරිදි නීතිපතිතුමාගේ උපදෙස් ලබා ගෙන ඇත. එකී වාර්තාවේ ඇතුළත් නිර්දේශවලට අදාළ ව මෙතෙක් ගනු ලැබ ඇති සහ ගැනෙමින් පවතින පියවර සහ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහජනතාව වෙත දැනුම් දීමත්, ‍පොදුවේ රාජ්‍ය ණය සහ සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය කිරීමේ කටයුතු සම්බන්ධ ව විනිවිදභාවය වර්ධනය කිරීමත් සුදුසු බව මුදල් මණ්ඩලය අදහස් කරයි.  මුදල් මණ්ඩලය විසින් ජනාධිපති කොමිසන් සභා වාර්තාව අඛණ්ඩ ව අධ්‍යයනය කෙරෙන අතර සුදුසු පරිදි වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇත. 

1. ව්‍යවස්ථාපිත සංශෝධන

•  2017 වසර මැද දී ආරම්භ කරන ලද නීති ප්‍රතිශෝධන ක්‍රියාවලීන් මේ වන විට ක්‍රියාත්මක ව පවතින අතර වත්මන් ආර්ථික සහ මූල්‍ය පසුබිම සලකා බලමින් මුදල් නීති පනතට මෙන් ම ලියාපදිංචි කොටස් සහ සුරැකුම් ආ‍ඥා පනත (Registered Stocks and Securities Ordinance) සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත (Local Treasury Bills Ordinance) ඇතුළු අනෙකුත් ප්‍රධාන අණ පනත්වලට ද හඳුන්වා දිය යුතු නව ප්‍රතිපාදන/සංශෝධන ද සකස් කෙරෙමින් පවතී.

•  වගකීම් කළමනාකරණ පනත (Liability Management Act) නැමැති නව පනතක් 2018 මුල් භාගයේ දී බලාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. වගකීම් කළමනාකරණ පනත මගින් නැවත මිල දී ගැනීම්, හුවමාරු කිරීම් සහ පූර්ව මූල්‍ය සැපයුම් කටයුතු වැනි සක්‍රීය ණය කළමනාකරණ කාර්යයන් සඳහා නම්‍යශීලි බවක් ලැබෙනු ඇත. එ සේ ම හිඟ ණය තොගයේ කල්පිරුම් ගොනුව වෙනස් කිරීම මගින් පවතින ණය තොගය සම්බන්ධ ප්‍රතිඅවදානම අවම කිරීමට ද එ මගින් හැකි වනු ඇත. තව ද, උපාය මාර්ගික නො වන වත්කම් අලෙවියෙන් ලැබෙන මුදලින් විශේෂ අරමුදල් පවත්වා ගැනීමට ද එ මගින් හැකියාව ලැබේ. වගකීම් කළමනාකරණ පනතේ විධිවිධාන මගින් දේශීය හා විදේශීය යන අංශ දෙකෙහි ම රාජ්‍ය ණයට අදාළ අවදානම් අඩු කිරීමට අපේක්ෂිත ය.

2. ණය කළමනාකරණ කටයුතුවල විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග

2.1 රාජ්‍ය සුරැකුම්පත්වල ප්‍රාථමික නිකුතු සඳහා නව වෙන්දේසි ක්‍රමයක් හඳුන්වා දීම සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සඳහා ද්විතීයික වෙළෙඳපොළක් වර්ධනය කිරීම

•  රජයේ දේශීය ණය ගැනීම්වල කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය තවදුරටත් වැඩිදියුණු කිරීම උදෙසා භාණ්ඩාගාර බැඳුම්කර සඳහා පැවැති පූර්ණ වෙන්දේසි කිරීම මත පදනම් වූ නිකුතු ක්‍රමය වෙනුවට 2017 ජූලි මාසයේ දී නව ප්‍රාථමික නිකුතු ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබිණි. භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සඳහා වන නව ක්‍රමයක් ද නුදුරු කාලයේ දී ම හඳුන්වා දෙනු ඇත. 

•  ඉහත ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස 2017 ජූලි මාසයේ සිට වෙන්දේසිවල දී ඇති වන හිඟ මූල්‍යයනය කිරීම මහ බැංකුව විසින් සිදු නො කර සම්පූර්ණ භාණ්ඩාගාර අරමුදල් අවශ්‍යතාව වෙළෙඳපොළ වෙතින් ම රැස් කර ගැනීමට මහ බැංකුවට හැකි වී ඇත. මෙයට අමතර ව 2018 වසර මුල දී ඇති වන ඉහළ අරමුදල් අවශ්‍යතාව සපුරා ගැනීම වෙනුවෙන් 2017 වසරේ දෙවන භාගය තුළ සිදු කළ නව භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේ දී නව වෙන්දේසි ක්‍රමය යටතේ අමතර රුපියල් බිලියන 116.16ක මුදලක් රැස් කර ගැනීමට මහ බැංකුව සමත් විය. 

•  ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සඳහා විද්‍යුත් ලංසු තැබීමේ ක්‍රමවේදයක් (Electronic Bidding System) හඳුන්වා දෙනු ලබන අතර එ මගින් ද්විතීයික වෙළෙඳපොළ කටයුතු සඳහා පහසුකම් සලසනු ඇත. 

2.2  රාජ්‍ය ණය මෙහෙයුම්වල සහ රජයේ සුරැකුම්පත් සම්බන්ධ ද්විතීයික වෙළෙඳපොළ කටයුතුවල අභ්‍යන්තර පරිපාලන කටයුතු ශක්තිමත් කිරීමට සහ විනිවිදභාවය තහවුරු කිරීමට ගෙන ඇති පියවර

•  වෙළෙඳපොළ අවභාවිතයන්ට හේතු විය හැකි තොරතුරු අසමතුලිතතා වැළැක්වීම සඳහා රජයේ සුරැකුම්පත්වල ප්‍රාථමික නිකුතූන්ට සහ ලංසු තැබීමට පෙර පැවැත්වෙන සාකච්ඡාවල දී ප්‍රාථමික ගැනුම්කරුවන් සහ ආයෝජකයින් සමඟ තොරතුරු හුවමාරු කර ගැනීමේ අවස්ථාව පුළුල් කර තිබේ. 

•  භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් සම්බන්ධ කාර්තුමය දින දර්ශනයක් ප්‍රකාශයට පත් කෙරෙන අතර එම දින දර්ශනයට අනුකූල වන පරිදි නිකුතු සංවිධානය කෙරේ. ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීම් සම්බන්ධයෙන් ද ණය ආපසු ගෙවීම් සහ නිකුත් කිරීම්වලට අදාළ අනුමත සීමාවන් මත පදනම් වූ දින දර්ශනයක් සැලසුම් කෙරෙමින් පවතී.

•  පුරෝකථන හැකියාව වැඩි කරමින් සමස්තයක් වශයෙන් වෙන්දේසිවල දී ලබා ගනු ලබන මුදල් ප්‍රමාණය වෙන්දේසියට ඉදිරිපත් කරනු ලැබූ ප්‍රමාණයට සීමා කර ඇත. 

•  භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවලට අදාළ ටෙන්ඩර් මණ්ඩල සඳහා භාණ්ඩාගාර ලේකම්තුමා විසින් නම් කරනු ලබන දෙදෙනෙකු බැගින් ඇතුළත් කිරීම මගින් එම මණ්ඩලවල මුදල් අමාත්‍යාංශ නියෝජනය ශක්තිමත් කර තිබේ. 

•  2016 වසරේ සිට රජයේ සුරැකුම්පත් ගනුදෙනු සඳහා විද්‍යුත් බැඳුම්කර අලෙවි පද්ධතියක් (Electronic Bond Trading Platform) භාවිත කරන ලෙස ප්‍රාථමික අලෙවිකරුවන්ට සහ බලපත්‍රලාභී බැංකුවලට අනිවාර්ය කර ඇත. 

•  රාජ්‍ය සුරැකුම්පත්වල ද්විතීයික වෙළෙඳපොළෙහි ගනුදෙනු බ්ලූම්බර්ග් (Bloomberg) පද්ධතියේ වාර්තා වන අතර මිල ගවේෂණ පහසුකම් වැඩි කිරීම සහ තොරතුරු අසමතුලිතභාවය අවම කිරීම සඳහා ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනුවල සාරාංශගත වාර්තාවක් ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ දිනපතා පළ කෙරේ. 

•  රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ඉදිරි කාර්යාලය තුළ හඬ පටිගත කිරීමේ පද්ධතියක් යොදවා ඇති අතර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව තුළ සමීපස්ථ පරිපථ කැමරා පද්ධතියක් (CCTV Camera System) ද ස්ථාපිත කර තිබේ. එම දෙපාර්තමේන්තුව වෙත ප්‍රවේශය සීමා කර ඇති අතර බාහිර පුද්ගලයින් විශේෂයෙන් සකසා ඇති මහ බැංකුවේ බාහිර අමුත්තන් සඳහා වන ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය යටතේ ලියාපදිංචි විය යුතු ය. 

•  රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ආවේක්ෂණ, පාලන, නිරීක්ෂණ, ආරක්ෂණ සහ දත්ත ආරක්ෂණ යන පටිපාටීන් ශක්තිමත් කරනු ලැබ ඇති අතර විශේෂඥ තාක්ෂණික සහාය යටතේ වැඩිදුර පුළුල් කිරීම් සිදු කිරීමට නියමිත ව ඇත. 

•  ගනුදෙනුකාර පාර්ශ්වයන්ට ඇති අවදානම් තත්ත්ව අවම කිරීම උදෙසා විද්‍යුත් ගනුදෙනු පද්ධතියක් (Electronic Trading Platform) සහ මධ්‍යස්ථ ගනුදෙනුකාර පාර්ශ්ව ආයතනයක් (Central Counterparty) ස්ථාපිත කිරීමේ අරමුණින් ඒ සම්බන්ධ මූලික වැඩ කටයුතු ආරම්භ කර ඇත. 

3.  සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන තීරණ ගැනීමේ ක්‍රියාවලියේ මෙන් ම අභ්‍යන්තර පාලන ව්‍යුහයේ විනිවිදභාවය සහ මනා පාලනය වැඩිදියුණු කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග

3.1  සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන සම්බන්ධයෙන් ගනු ලැබූ පියවර

•  2016 මැයි මස සිට බල පැවැත්වෙන පරිදි ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රමයෙන් අඩු කරන ලදි. එහි වෙළෙඳපොළ කටයුතු තුළින් පැන නැගුණු තත්ත්ව හේතුවෙන් මුදල් මණ්ඩලය විසින් 2016 ඔක්තෝබර් මාසයේ දී සේවක අර්ථසාධක අරමුදල භාණ්ඩාගාර බැඳුම්කර සහ ප්‍රතිවිකුණුම් හා සම්බන්ධ ද්විතීයික වෙළෙඳපොළට සහභාගී වීම අභ්‍යන්තර පාලන ක්‍රියාමාර්ග ශක්තිමත් කරන තුරු සීමා කරන ලදි. මෙම සීමා කිරීම අතුරතුර දී අභ්‍යන්තර පාලන ක්‍රියාමාර්ග ශක්තිමත් කෙරෙනු ඇත. 

•  සේවක අර්ථසාධක අරමුදලට ඇති සීමිත ආයෝජන අවස්ථා සලකා බලමින් තාවකාලික ක්‍රියාමාර්ගයක් වශයෙන් රාජ්‍ය බැංකුවල ස්ථාවර තැන්පතු සහ මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම වැනි විකල්ප ආයෝජන මාර්ගවලට යොමු වීම සඳහා මුදල් මණ්ඩලය අවසර ලබා දී ඇත. 

•  ආයෝජන තීරණ ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට මෙන් ම සේවක අර්ථසාධක අරමුදලේ කළඹ කළමනාකරණ ක්‍රියාකාරකම් නිසි මගට ගැනීම සඳහා මෑත කාලයේ දී ගනු ලැබූ පියවර සැලකිල්ලට ගනිමින් 2017.07.06 දින සිට බල පැවැත්වෙන පරිදි ආයෝජන කමිටුව විසින් දක්වන ආයෝජන මාර්ගෝපදේශයන්ට තරයේ අවනත වෙමින් වෙළෙඳපොළ සහභාගීකරුවන් සමඟ ප්‍රතිමිල දී ගැනීම් ගනුදෙනු සිදු කිරීම සහ ද්විතීයික වෙළෙඳපොළෙන් රජයේ සුරැකුම්පත් මිල දී ගැනීම නැවත ආරම්භ කිරීමට මුදල් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදි.

3.2  සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන තීරණ ගැනීමේ ක්‍රියාවලියේ විශ්වසනීයත්වය වැඩි කිරීම සඳහා ගනු ලැබූ පියවර

•  සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන තීරණ ගැනීමේ ක්‍රියාවලියේ අභ්‍යන්තර පාලන ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා සේවක අර්ථසාධක අරමුදල භාර ව සිටින නියෝජ්‍ය අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ආයෝජන කමිටුව 2016 නොවැම්බර් මස සිට දිනපතා රැස්වීමට කටයුතු යොදන ලදි. 

•  2016 නොවැම්බර් මාසයේ සිට සියලු ම ආයෝජන, ආයෝජන කමිටුවේ අනුමැතිය මත සිදු කරන ලද අතර රජයේ සුරැකුම්පත්වලින් පිටත ආයෝජන සඳහා මුදල් මණ්ඩලයේ පූර්ව අනුමැතිය ලබා ගන්නා ලදි. 

3.3  අභ්‍යන්තර පාලන පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ගනු ලැබූ පියවර

•  සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන කටයුතු නිරීක්ෂණය කිරීමේ සහ ආයෝජනය සඳහා ආයෝජන සහ අලෙවිකරණ මාර්ගෝපදේශය පිළිබඳ සංශෝධන ඇතුළු අවදානම් මිනුම් සකස් කිරීමේ වගකීම අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත පවරනු ලැබිණි.

• ඉදිරි කාර්යාලය සඳහා ප්‍රවේශය පාලනය කිරීමේ සහ හඬ පටිගත කිරීමේ උපාංග හඳුන්වා දෙනු ලැබූ අතර නුදුරේ දී ම එම පද්ධති මැදි කාර්යාලය, පසු කාර්යාලය සහ අරමුදල් කළමනාකරණයට සම්බන්ධ ජ්‍යේෂ්ඨ කළමනාකාරවරුන් ද ආවරණය වන පරිදි පිහිටුවනු ඇත. සමීපස්ථ පරිපථ කැමරා පද්ධතියක් (CCTV Camera System) පිහිටුවීම මේ වන විට සිදු කෙරෙමින් පවතී.

• රජයේ සුරැකුම්පත් සම්බන්ධ ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු සිදු කිරීමේ දී විද්‍යුත් අලෙවි මාධ්‍යයන් (බ්ලූම්බර්ග් පද්ධති පහසුකම්) භාවිත කිරීමට කටයුතු සලස්වා ඇති අතර අරමුදල් කළමනාකරණ අංශයේ අනෙකුත් නිලධාරීන් සඳහා ද බ්ලූම්බර්ග් පද්ධති පහසුකම් ලබා දී ඇත. 

• ආයතනයේ ශක්‍යතා වර්ධනය කිරීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමේ අරමුණ පෙරදැරි ව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහාය අඛණ්ඩ ව ලබා ගැනීමට ක්‍රියා කර ඇත. එයට අමතර ව සේවක අර්ථසාධක අරමුදල සිය සමස්ත ආයෝජන ක්‍රමවේදය වර්ධනය කර ගැනීම සඳහා ලෝක බැංකුවේ සහාය ද ලබා ගනී.

• 2017 ජනවාරි මාසයේ සිට ආයෝජන සම්බන්ධයෙන් ආයෝජන කමිටු රැස්වීම්වල කෙරෙන සාකච්ඡා පටිගත කරන ලදි.

• අරමුදල් කළමනාකරණ අංශය සඳහා අමතර කාර්ය මණ්ඩලයක් යොදවන ලදි.

•  අරමුදල් කළමනාකරණ අංශය ප්‍රවේශ පාලන පද්ධතියක් සහිත මහ බැංකු ප්‍රධාන කාර්යාලය වෙත ගෙන යන ලදි. 

4. පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් සහ පෑන් ඒෂියා බෑන්කින් කොපරේෂන් පී එල් සී සම්බන්ධයෙන් ගනු ලැබූ නියාමන ක්‍රියාමාර්ග

4.1 පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ්

• පර්පෙචුවල් ‍ට්‍රෙෂරීස් ලිමිටඩ් ආයතනයට අදාළ අධීක්ෂණ කටයුතුවල දී අනාවරණය වූ කරුණු හා එතැන් පරික්ෂණ වාර්තාව මගින් හඳුනා ගත් අදාළ නීතිරීතිවලට අනුකූල නො වීමේ අවස්ථා සහ අනෙකුත් විමර්ශනවලින් හෙළි වූ කරුණු පදනම් කර ගෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ ප්‍රාථමික හා ද්විතීයික වෙළෙඳපොළ කටයුතු අත්හිටුවීමටත්, එහි දේපළ බැහැර කිරීම වැළැක්වීමටත් 2016.11.07 වන දින මුදල් මණ්ඩලය විසින් නියෝගයක් නිකුත් කරන ලදි. අඛණ්ඩ ව සිදු කෙරුණු විමර්ශනවලින් හෙළි වූ කරුණු මත වරින් වර වැඩිදුර නියෝග නිකුත් කෙරුණු අතර මේ වන විට ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු අත්හිටවනු ලැබ ඇත. දේපළ බැහැර කිරීමෙන්, ලාභ බෙදා හැරීමෙන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව අනුමැතියකින් තොර ව කිසිදු ගෙවීමක් සිදු කිරීමෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් ආයතනය වළක්වනු ලැබ තිබේ. මෙම නියෝග 2018.07.06 දින දක්වා බල පැවැත්වේ. මහ බැංකුව භාරයේ ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් ආයතනයට අයත් වත්කම් තහනමට ලක් කර ඇති අතර සුරැකුම්පත් හා විනිමය හුවමාරු කොමිසම යටතට වැටෙන වත්කම් සම්බන්ධයෙන් ද සුදුසු පියවර ගන්නා ලෙස දන්වා ඇත. 

4.2 පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පී එල් සී

• පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පී එල් සී ආයතනය රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ තුළ සැලකිය යුතු මට්ටමකට අනිසි මැදිහත්වීම් කර තිබෙන බවට බැලූ බැල්මට පෙනී යන පරිදි විමර්ශනවල දී කරුණු අනාවරණය වීමෙන් පසු මුදල් මණ්ඩලය විසින් නිසි ක්‍රමවේදය අනුව කටයුතු කර 2017.08.15 දින සිට මාස 6කට පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පී එල් සී ආයතනය ප්‍රාථමික ගනුදෙනුකරුවෙකු ලෙසට සිදු කරන ව්‍යාපාර හා කටයුතු අත්හිටුවමින් 2017.08.14 දින නියෝගයක් නිකුත් කරන ලදි. මෙයට අදාළ ව්මර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරෙන අතර එහි දී හෙළි වන කරුණු මත වැඩිදුර පියවර ගැනීමට ක්‍රියා කරනු ඇත.  

5. විනය ක්‍රියාමාර්ග

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද අභ්‍යන්තර පරීක්ෂණ සහ විමර්ශන කටයුතුවලින් අනාවරණය වූ කරුණු මත ශ්‍රී ලංකා මහ බැංකු අත්පොතේ වර්ගීකරණ, පාලන සහ අභියාචනා රීතීන්හි විධිවිධානවලට අනුකූල ව කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුට එරෙහි ව විනය ක්‍රියාමාර්ග ගන්නා ලදි. ඒ අතරින් හතර දෙනෙකු‍ මේ වන විට වැඩ තහනමට ලක් කරනු ලැබ ඇත. 

6. අනෙකුත් ක්‍රියාමාර්ග

• ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් මණ්ඩලයේ සාමාජිකයින් සහ බැංකු කාර්ය මණ්ඩලය සඳහා පොදුවේ බලපාන විනය රීති සංග්‍රහයක් ද, සේවක අර්ථසාධක අරමුදලේ සහ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා බලපාන විශේෂ විනය නීති සංග්‍රහයක් ද දැනටමත් කෙටුම්පත් කර ඇත. මුදල් මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසු එම විනය නීති සංග්‍රහයන් බලාත්මක වනු ඇත. 

• අදාළ කටයුුතු අඛණ්ඩ ව විමසා බැලීමේ සහ අනුකූලතාව සහතික කිරීමේ පුළුල් පියවරක් වශයෙන් නීති සහ අනුකූලතා දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීමටත්, 2018.01.01 දින සිට බලාත්මක වන පරිදි නිරාකරණ සහ බලගැන්වීම් දෙපාර්තමේන්තුව (Resolution and Enforcement Department) පිහිටුවීමටත් මහ බැංකුව මේ වන විටත් පියවර ගෙන ඇත. 

• අභ්‍යන්තර විගණන කටයුතුවල විෂය පථය තවදුරටත් පුළුල් කිරීම සහ එ මගින් මුදල් මණ්ඩලය වෙත ස්වාධීන තහවුරුවක් ලබා දීම පිණිස එම කටයුතුවල ඵලදායීතාව ඉහළ නැංවීමට අවශ්‍ය පටිපාටීන් ශක්තිමත් කිරීමේ අරමුණු පෙරදැරි ව මුදල් මණ්ඩලය විසින් මහ බැංකුවේ අභ්‍යන්තර විගණන කටයුතු සමාලෝචනය කරනු ඇත. 

7. 2008 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළ සිදු වූ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් සහ 2016 මාර්තු මාසයේ පැවැත්වූ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් වෝහාරික විගණනයන් සිදු කිරීමට ද මුදල් මණ්ඩලය පියවර ගනු ලැබේ. 

Published Date: 

Thursday, January 11, 2018