තැන්පත්කරුවන් ආරක්ෂා කිරීම සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා මහ බැංකුව බුන්වත් මූල්‍ය ආයතන හතරක් නිරාකරණය කරයි

2016 ඔක්තෝබර් මස 10 වැනි දින මහජනතාව වෙත නිවේදනය කළ පරිදි මුදල් මණ්ඩලය විසින් මූල්‍ය පද්ධතිය කෙරෙහි ඇති මහජන විශ්වාසය ආරක්ෂා කිරීම පිණිස අදාළ නීතිමය ප්‍රතිපාදනවලට අනුකූල ව බැංකු නො වන මූල්‍ය ආයතන ගණනාවක් නිරාකරණය කිරීම සම්බන්ධ ගැටළු 2016 ඔක්තෝබර් මස 14 වැනි දින පැවැති මුදල් මණ්ඩල රැස්වීමේ දී සලකා බලන ලදි. ඒ අනුව, මුදල් සමාගම් තුනක තැන්පත්කරුවන්ගේ තැන්පතු සහ එන්ට්‍රස්ට් සෙකියුරිටීස් පීඑල්සී සමාගමේ රාජ්‍ය සුරැකුම්පත් හා සම්බන්ධ නීත්‍යනුකූල ආයෝජකයන්ගේ මුදල් ආපසු ගෙවීම සඳහා නිිරාකරන ක්‍රමවේදයක් මුදල් මණ්ඩලය අනුමත කළේ ය. 

එම මුදල් සමාගම් තුන වනුයේ ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්, සිටි ෆිනෑන්ස් කෝපරේෂන් ලිමිටඩ් සහ සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් අන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී යන සමාගම් ය. මෙම සමාගම් තුන ම මුදල් වංචා කිරීම හා නිසි පරිදි කළමනාකරණය නො කිරීම හේතුවෙන් 2008 හා 2009 වර්ෂ තුළ දී උග්‍ර අර්බුදකාරී මූල්‍ය තත්ත්වයකට පත් වූ අතර තැන්පතු ආපසු ගෙවීම සඳහා මෙම සමාගම්වලට වත්කම් නොමැති විය. එම සමාගම් කළමනාකරණය කළ පාර්ශ්වයන් විසින් නව ප්‍රාග්ධනය යෙදවීමට අපොහොසත් වූ නිසා එම සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කලින් කලට ගන්නා ලද ප්‍රයත්නයන් මගින් බලාපොරොත්තු වූ ප්‍රතිළුල නො ලැබිණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම සමාගම් බුන්වත්භාවයට පත් වූ අතර එ තැන් සිට ව්‍යාපාර කටයුතුවල නිසි ලෙස නිරත වීමට නො හැකි විය. රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳාම් කිරීම සඳහා ප්‍රාථමික අලෙවිකාර බලපත්‍රයක් ලබා සිටි එන්ට්‍රස්ටි සෙකියුරිටීස් පීඑල්සී සමාගම ගනුදෙනුකරුවන් විසින් රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කිරීම සඳහා ලබා දෙන ලද මුදල් වංචා සහගත ලෙස භාවිතා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2015 වසර අවසාන කාලයේ දී උග්‍ර ද්‍රවශීලතා අර්බුදයකට සහ බුන්වත් තත්ත්වයකට පත් විය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2016 ජනවාරි මස 4 වැනි දින එන්ට්‍රස්ට් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කළ අතර ආයෝජකයන් ආරක්ෂා කිරීම සඳහා එහි මෙහෙයුම් සහ කළමනාකරණ කටයුතු ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙත පවරන ලදි. 

නුදුරු අනාගතයේ දී තැන්පත්කරුවන්ට සහ ආයෝජකයන්ට නැවත මුදල් ආපසු ගෙවීමට හැකි වන ලෙස මෙම ආයතන යථා තත්ත්වයට පත් කිරීමට තවදුරටත් ඉඩක් නො මැති බව මෙම සමාගම්වල නිරාකරණය පිළිබඳ ව මේ දක්වා පැවැති දුර්වල ප්‍රගතිය සමාලෝචනය කොට මුදල් මණ්ඩලය තීරණය කළේ ය. මේ පිළිබඳ ව මෙතෙක් ගත වූ දිගු කාලය සැලකිල්ලට ගෙන සාධාරණ කාල පරිච්ඡේදයක් තුළ හා සාධාරණ පොලී අනුපාතයක් සහිත ව 2017 වර්ෂයේ සිට වාර්ෂික ව ඉහත දැක් වූ තැන්පතු සහ ආයෝජන මුදල් නැවත ගෙවීම පිණිස බැංකු නො වන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපා්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද සමාගම් නිරාකරණය කිරීමේ සැලසුම් මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලදි. 

මේ මගින් ඉහත මුදල් සමාගම් තුනේ 11,878ක තැන්පත්කරුවන් සතු රුපියල් මිලියන 4,868ක තැන්පතු ප්‍රමාණයක් ආවරණය වේ. එන්ට්‍රස්ට් සමාගමේ අයෝජකයන් 107කට අයත් රාජ්‍ය සුරැකුම්පත් මගින් සුරක්ෂිත ආයෝජන ප්‍රමාණය වන රුපියල් මිලියන 3,100ක් නැවත ගෙවීම ඉදිරි සතිවල දී සිදු කෙරේ. එම සමාගමේ පුද්ගලයන් සහ ආයතන 24කට අයත් රාජ්‍ය සුරැකුම්පත් මගින් සුරක්ෂිත නො වූ ආයෝජන මුදල වන රුපියල් මිලියන 8,508ක් සඳහා රාජ්‍ය සුරැකුම්පත් ලබා දී එම ආයෝජන ආපසු ගෙවීම සෙලාන් බෑන්ක් පීඑල්සී ආයතනයේ කළමනාකරණ සහාය මත ආපසු ගෙවීමේ සැලැස්මක් යටතේ සිදු කෙරෙනු ඇත. අවශ්‍ය පරිපාලන ක්‍රියා මාර්ග සම්පූර්ණ කිරීමෙන් පසු ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එහි තොරතුරු තැන්පත්කරුවන් සහ ආයෝජකයන් වෙත ඉදිරි කාලයේ දී නිවේදනය කරනු ලැබේ. මෙම නිරාකරණ සැලැස්ම නීතිමය වශයෙන් තහවුරු කර ගත් පසු ‍මෙම සමාගම් අදාළ නීති අනුව ඈවර කිරීම සිදු කරනු ඇත. මෙම සමාගම් සතු ව වත්කම් නොමැති බැවින් සහ ඒවා යථා තත්ත්වයට පත් කොට තැන්පත්කරුවන් සහ ආයෝජකයන් වෙත මුදල් ආපසු ගෙවීම සඳහා කිසිදු ආයෝජකයකු විසින් කැමැත්තක් නො දක්වන බැවින් ශ්‍රී ලංකා මහ බැංකුවට ඉතිරි වී ඇති එක ම විකල්පය මෙම නිරාකරණ සැලසුම බව මුදල් මණ්ඩලයේ අදහසයි. 

මෙම නිරාකරණය කිරීමේ සැලැස්මේ කොටසක් ලෙස මුදල් වංචා කිරීමට සහ අයුතු ලෙස භාවිත කිරීමට වගකිව යුතු එම මූල්‍ය සමාගම්වල අධ්‍යක්ෂවරුන්ට හා කළමනාකරුවන්ට එරෙහි ව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමටත් ඔවුන්ගෙන් එම මුදල් යළි අය කර ගැනීමටත් අවශ්‍ය සියලු ම ප්‍රයත්න ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු නො වන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ නව නීති අංශයක් පිහිටුවනු ලැබේ. එන්ට්‍රස්ට් සමාගම සම්බන්ධ ව නීති බලගැන්වීමේ අධිකාරීන් විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහාය ද ඇති ව දැනටමත් අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත. තව ද ශ්‍රී ලංකා මහ බැංකුවේ පරීක්ෂණ නිලධාරින් විසින් දැනට පවතින සමාගම්වල සිදු විය හැකි මෙ වැනි වංචා සහගත ක්‍රියා අනාවරණය කර ගන්නා අවස්ථාවල ද එ වැනි ක්‍රියා සිදු කර ඇති පාර්ශ්වයන්ට එරෙහි ව නීතිමය ක්‍රියා මාර්ග ගැනීම සඳහා නව නීති අංශය විසින් පියවර ගනු ඇත. එ සේ ම, ශ්‍රී ලංකා මහ බැංකුවේ පවතින අඩුපාඩු නිවැරදි කොට මූල්‍ය ආයතනවල සුරක්ෂිතභාවය සහ ශක්තිමත්භාවය තහවුරු කිරීම සඳහා නියාමන හා අධීක්ෂණ ක්‍රමවේදය ශක්තිමත් කිරීමට ඉක්මන් ක්‍රියා මාර්ග ගනු ලැබේ. 

කෙ සේ වෙතත්, නියාමනය හා අධීක්ෂණය යනු මහජනයා විසින් බැංකු හා මූල්‍ය ආයතනවල සිදු කරනු ලබන සෑම තැන්පතුවක් හා ආයෝජනයක් සඳහා ආරක්ෂණ සහතිකයක් නො වන බව දැඩි ව අවධාරණය කිරීම වැදගත් වේ. මෙම තැන්පත් හිමියන් හා ආයෝජකයන් මෙන් ම මෙම අරමුදල් යොදා ව්‍යාපාර කටයුතු සිදු කරනු ලබන මූල්‍ය ආයතන ද මෙම අරමුදල් මනා ලෙස කළමනාකරණය කිරීඹ සම්බන්ධ ව ගනු ලබන ව්‍යාපාරික තීරණ පිළිබඳ ව මූලික වගකීම ගත යුතු ය. ඉහත දැක් වූ අර්බුදකාරී සමාගම්වල තැන්පත්වලින් බොහෝ ප්‍රමාණයක් රැස් කොට ගෙන ඇත්තේ අනවසර මූල්‍ය සේවා මගිනි. විශාල තැන්පත්කරුවන් හා අයෝජකයන් පවා තමන් වෙත ප්‍රමාණවත් මූල්‍ය දැනුම හා කුසලතාව තිබියදීත් අවදානම හා ප්‍රතිලාභ සම්බන්ධයෙන් කළ යුතු සාමාන්‍ය යථා තත්ත්ව පරීක්ෂණ සිදු කිරීමට සැලකිලිමත් වී නොමැත. ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම වනුයේ ස්ථායී මූල්‍ය පද්ධතියක් තුළ සුරක්ෂිත හා ස්ථාවරභාවයකින් යුතු ව ආර්ථිකයට හා මහජනයාට වැදගත් වන ව්‍යාපාර කටයුතු කර ගෙන යෑම සඳහා ආයතනවලට පහසු වන පරිදි පවත්නා නීතිමය රාමුව තුළ නියාමනය හා අධීක්ෂණය තුළින් බාහිර ආරක්ෂණයක් සැපයීම පමණි. 

එ බැවින්, දිගු කාලයක් පුරා පැවැති මෙම ගැටලුව විසඳා ගැනීම පිණිස ඉදිරිපත් කෙරෙන මෙම නිරාකරණ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත සහයෝගය දක්වන ලෙස එයට සම්බන්ධ සියලු දෙනාගෙන් කාරුණික ව ඉල්ලා සිටී. මෙ සේ සහයෝගය නො ලැබේ නම් පවත්නා නීති ප්‍රකාර ව අකමැත්තෙන් වුව ද මෙම සමාගම්වල ව්‍යාපාර කටයුතු ඈවර කිරීමට අවසර ලබා දීම හැර වෙනත් විකල්පයක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත නොමැති බව ද දන්වනු ලැබේ. 

 

Published Date: 

Tuesday, October 18, 2016