නව සහකාර අධිපතිවරුන් පත් කරයි

මුදල් මණ්ඩලය විසින් 2017 අගෝස්තු මස 31 වැනි දින පැවැති රැස්වීමේ දී කේ. එම්. ඒ. එන්. දවුලගල මහත්මිය, එස්. ගුණරත්න මහත්මිය, එන්. ඩබ්. ජී. ආර්. ඩී. නානායක්කාර මහතා, ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු මහත්මිය, ජේ. පී. ආර්. කරුණාරත්න මහතා සහ කේ. ගුණතිලක මහත්මිය යන මාණ්ඩලික පන්තියේ IV වන ශ්‍රේණියේ නිලධාරීන් සය දෙනා 2017 අගෝස්තු මස 31 වැනි දින සිට සහකාර අධිපති තනතුරට උසස් කරන ලදී.  

කේ. එම්. ඒ. එන්. දවුලගල මහත්මිය

මුදල් මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම් ලෙස කටයුතු කරන කේ. එම්. ඒ. එන්. දවුලගල මහත්මිය එම තනතුරෙහි රාජකාරීවලට අමතර ව මූල්‍ය දෙපාර්තමේන්තුව සහ කාර්ය මණ්ඩල සේවා කළමනාකරණ දෙපාර්ත‍මේන්තුව භාර සහකාර අධිපති වශයෙන් පත් කර ඇත.

දවුලගල මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවෙහි වසර 26කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අතර බැංකු කටයුතු, ජාත්‍යන්තර මෙහෙයුම්, මූල්‍ය, බැංකු නො වන මූල්‍ය ආයතන අධීක්ෂණ, මූල්‍ය ස්ථායීතා අධ්‍යයන, උතුරු මැද පළාත් හා වයඹ පළාත් දෙපාර්තමේන්තු මට්ටමේ ප්‍රාදේශීය කාර්යාල සහ ලේකම් යන දෙපාර්තමේන්තුවල සේවය කර ඇත.  තව ද, ඇය මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය වෙත මුදා හැර තිබූ අතර එහි රාජ්‍ය ව්‍යාපාර සම්බන්ධ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කළා ය.

අමාත්‍යාංශයෙහි එම තනතුර දරන කාලය තුළ දවුලගල මහත්මිය ලංකා බැංකුවෙහි නිල බලයෙන් පත් වන අධ්‍යක්ෂවරයෙකු ලෙසත් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයෙහි සාමාජිකයකු ලෙසත් කටයුතු කළා ය.  ඒ මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මූල්‍ය පද්ධති ස්ථායීතා කමිටුව, අවදානම් කළමනාකරණ කමිටුව, විදේශ සංචිත කළමනාකරණ කමිටුව සහ විගණන කමිටුව ඇතුළු කමිටු රැසක සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත.

බැංකු නො වන මූල්‍ය ආයතනවල සමීපස්ථ සහ දුරස්ථ අධීක්ෂණ ක්‍රියාවලි සවිමත් කිරීම, මූල්‍ය ව්‍යාපාර පනත කෙටුම්පත් කිරීම, බැංකු නො වන මූල්‍ය ආයතනවල ප්‍රධාන කළමනාකරණ තනතුරු දැරීම සඳහා සුදුසු සහ යෝග්‍ය වීමට පුද්ගලයන් සතු විය යුතු අවශ්‍යතා හඳුන්වා දීම, ආපදාවට පත් සමාගම් කිහිපයක් ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන්ට පූර්ණ අනුකූලතාව ලබා ගැනීම සඳහා දවුලගල මහත්මිය දායක විය.  රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංවිධානය වෙනුවෙන් පහසුකම් සැලසීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් සහ කාර්යයන් විධිමත් කිරීම සඳහා ද දවුලගල මහත්මිය විසින් විශේෂ දායකත්වයක් දක්වන ලදී.

දවුලගල මහත්මිය එක්සත් රාජධානියේ එසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් (University of Essex, UK) මූල්‍ය හා ව්‍යාපාරික ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධියත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන විද්‍යාපති උපාධියත් ලබා ඇත. දවුලගල මහත්මිය එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ අධි සාමාජිකාවකි.

එස්.ගුණරත්න මහත්මිය 

ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අයත් කලාපය නියෝජනය කළ විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ එස්.ගුණරත්න මහත්මිය ආර්ථික පර්යේෂණ, සංඛ්‍යාන සහ සාර්ව විචක්ෂණතා අධ්‍යයන යන දෙපාර්තමේන්තු භාර සහකාර අධිපති වශයෙන් පත් කර ඇත.

මහ බැංකුවෙහි වසර 31 කට අධික අත්දැකීම් ඇති ගුණරත්න මහත්මිය 2012 සිට 2015 දක්වා ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කිරීම‍ට පෙර වසර 21 කට වඩා වැඩි කාලයක් ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ විවිධ මට්ටමේ තනතුරු දරමින් සේවය කළා ය.  ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ වීමට පෙර ඇය බැංකු කටයුතු දෙපාර්තමේන්තුවේ සේවය කළාය.  මුදල් ප්‍රතිපත්ති කමිටුව, මුදල් මෙහෙයුම් කමිටුව, මූල්‍ය පද්ධති ස්ථායීතා කමිටුව, විදේශ සංචිත කළමනාකරණ කමිටුව සහ අවදානම් කළමනාකරණ කමිටුව ඇතුළු කමිටු නියෝජනය කිරීම මගින් ගුණරත්න මහත්මිය බැංකුවට සැලකිය යුතු දායකත්වයක් සැපයීය.  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ධූරය දරන ලද කාලය තුළ ශ්‍රී ලංකාව සඳහා නිත්‍ය ණය පහසුකම් සහ විස්තීරණ ණය පහසුකම් සැපයීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා විශාල වශයෙන් දායක විය.  ඉතාමත් පළපුරුදු අර්ථ ශාස්ත්‍රඥවරියක වශයෙන් ගුණරත්න මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික අරමුණු අතුරින් එකක් වන රටෙහි ආර්ථික හා මිල ස්ථායීතාව ළඟා කර ගැනීම සඳහා මහඟු දායකත්වයක් දැක්වීය.  ගුණරත්න මහත්මිය මුදල් හා සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, විදේශීය අංශය හා සම්බන්ධ ප්‍රතිපත්ති සහ මූල්‍ය ස්ථායීතාව යන ක්ෂේත්‍රයන්හි ජාත්‍යන්තර පුහුණු වැඩසටහන් හා සම්මන්ත්‍රණ රැසකට සහභාගී වී ඇත.  ඇය ප්‍රසිද්ධ දේශිකාවක වන අතර දේශීය මෙන් ම විදේශීය සම්මන්ත්‍රණ රැසක දේශන පවත්වා ඇත.

ගුණරත්න මහත්මිය ඇමෙරිකා එක්සත් ජනපදයේ වැන්ඩබිල්ට් විශ්වවිද්‍යාලයෙන් (University of Vanderbilt, USA) ආර්ථික විද්‍යාව පිළිබඳ දර්ශනපති උපාධිය ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සහ වාණිජවේදී උපාධිය ද ලබා ඇත.

එන්. ඩබ්. ජී. ආර්. ඩී. නානායක්කාර මහතා

සාර්ව විචක්ෂණතා අධ්‍යයන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ එන්. ඩබ්. ජී. ආර්. ඩී. නානායක්කාර මහතා රාජ්‍ය ණය, ක්ෂුද්‍ර මූල්‍ය ආයතන අධීක්ෂණ සහ ආරක්ෂක සේවා යන දෙපාර්තමේන්තු භාර සහකාර අධිපති වශයෙන් පත් කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 24කට අධික සේවා කාලයක් සපුරා ඇති නානායක්කාර මහතා සාර්ව විචක්ෂණතා අධ්‍යයන, රාජ්‍ය ණය, බැංකු අධීක්ෂණ, ජාත්‍යන්තර මෙහෙයුම්, දේශීය මෙහෙයුම් සහ බැංකු කටයුතු යන දෙපාර්තමේන්තුවල සේවය කර ඇත.  මූල්‍ය පද්ධති ස්ථායීතාව, මූල්‍ය ආයතන අධීක්ෂණය හා නියාමනය, ණය හා ආයෝජන කළඹ කළමනාකරණය, ජාත්‍යන්තර මූල්‍ය, විදේශ සංචිත කළමනාකරණය සහ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම යන ප්‍රධාන මහ බැංකු ක්ෂේත්‍රයන් පිළිබඳ නානායක්කාර මහතා සතු විශේෂඥතාව ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සැලකිය යුතු දායකත්වයක් සැපයීය.  තව ද, බැංකු නියාමනයෙහි ඵලදායීතාව ඉහළ නැංවීම, ණය උපායමාර්ග සැකසීම හා ක්‍රියාත්මක කිරීම, පිරිවැය අවම කරමින් රාජ්‍ය ණය කළඹෙහි අවදානම් ආකෘතිය වැඩි දියුණු කිරීම, බහුවිධ විදේශ විනිමය සංචිත කළඹ කළමනාකරණය, මහ බැංකුවේ විදේශ සංචිත කළමනාකරණ පද්ධතිය නැවත සැකසීම සහ ප්‍රථම වරට විදේශ සංචිත කළමනාකරණ ක්‍රියාවලිය ස්වයංක්‍රීය කිරීම සඳහා නානායක්කාර මහතා ඵලදායී ලෙස සහභාගී විය.  තව ද, නානායක්කාර මහතා ශ්‍රී ලංකාවේ සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ පාලක සභාවේ, මූල්‍ය පද්ධති ස්ථායීතා කමිටුවේ සහ ශ්‍රී ලංකා රජය විසින් සිදු කරනු ලබන ජාත්‍යන්තර ස්වෛරීත්ව ණය නිකුතු පිළිබඳ නියමු කමිටුවේ සාමාජිකයෙකු ලෙසත් දේශීය ණය කළමනාකරණ කමිටුවේ සභාපති ලෙසත් කටයුතු කර ඇත.

නානායක්කාර මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇමෙරිකානු විශ්වවිද්‍යාලයෙන් (American University of US), මූල්‍ය පිළිබඳ විද්‍යාපති උපාධිය ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාවේදී උපාධිය ද ලබා ඇත.  ඔහු ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය දරන අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ සහතිකලත් මූල්‍ය සේවා විගණකවරයෙකු ද වේ. 

ටී.එම්.ජේ.වයි.පී.ප්‍රනාන්දු මහත්මිය

විනිමය පාලක ලෙස කටයුතු කළ ටී. එම්.‍ ජේ. වයි. පී. ප්‍රනාන්දු මහත්මිය විනිමය පාලන, බැංකු අධීක්ෂණ සහ නීති හා අනුකූලතා දෙපාර්තමේන්තු භාර සහකාර අධිපති වශයෙන් පත් කර ඇත. 

ප්‍රනාන්දු මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ, විනිමය පාලන සහ බැංකු සංවර්ධන යන ක්ෂේත්‍රයන්හි වසර 27කට අධික පළපුරුද්දක් දරයි.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ව ශක්තිමත් නියාමන රාමුවක් ක්‍රියාත්මක කිරීම සඳහා නායකත්වය ලබා දීම මගින් ප්‍රනාන්දු මහත්මිය මූල්‍ය පද්ධති ස්ථායීතාව පවත්වා ගැනීමට විශාල කාර්යභාරයක් ඉටු කළා ය.  ප්‍රනාන්දු මහත්මිය ණය තොරතුරු කාර්යාංශය, ජාතික මැණික් හා ස්වර්ණාභාරය අධිකාරිය, සීමාසහිත ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගම, සීමාසහිත ජීකේ හොස්පිට්ල්ස්, සීමාසහිත ජෙට්වින් සිම්පනි යන ආයතනවල අධ්‍යක්ෂවරයෙකු ලෙසත් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ යහපාලන නීති සංග්‍රහය සමාලෝචනය සඳහා පත් කළ කමිටුවේ, නිදහස් වෙළඳ ගිවිසුම් ගනුදෙනු සඳහා ආයෝජනය කිරීම පිළිබඳ උප කමිටුවේ සහ අග්නිදිග ආසියාතික මහ බැංකුවල (SEACEN) පුහුණු කිරීම් පිළිබඳ උපදේශක කමිටුවේ සාමාජිකයෙකු ලෙසත් කටයුතු කර ඇත.

ප්‍රනාන්දු මහත්මිය දැනුම යාවත්කාලීන කර ගැනීමට සහ වැඩිදියුණු කර ගැනීම සඳහා බැංකු අධීක්ෂණය හා නියාමනය පිළිබඳ විවිධ මානයන්, සාමාන්‍ය බැංකු කටයුතු, මූල්‍ය ආයතනවල අවදානම් කළමනාකරණය, යහ පාලනය, දුර්වල බැංකු බේරුම් කිරීම ආදිය පිළිබඳ දේශීය හා ජාත්‍යන්තර පුහුණු වැඩසටහන්, සමුළු සහ අනෙකුත් සම්මන්ත්‍රණ රැසකට සහභාගි වී ඇත.  සිය රාජකාරී සම්බන්ධ විෂයයන් පිළිබඳ දේශීය සහ විදේශීය පුහුණු වැඩසටහන්, සාකච්ඡා රැසක සම්පත් දායක ලෙස කටයුතු කර ඇත.  තව ද, ප්‍රනාන්දු මහත්මිය මහ බැංකුවේ මූල්‍ය පද්ධති ස්ථායිතා කමිටුව, අන්තර් නියාමන ආයතන කවුන්සිලය, අවදානම් කළමනාකරණ කමිටුව සහ ජාතික ගෙවීම් කවුන්සිලයෙහි නිල බලයෙන් සාමාජිකත්වය දරමින් එම කමිටුවල අරමුණු සහ පරමාර්ථයන් වෙනුවෙන් විශාල දායකත්වයක් සැපයීය.

ප්‍රනාන්දු මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වාණිජවේදී උපාධිය ද ලබා ඇත.

ජේ. පී. ආර්. කරුණාරත්න මහතා

ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරී ලෙස කටයුතු කළ ජේ. පී. ආර්. කරුණාරත්න මහතා ව්‍යවහාර මුදල්, බැංකු නො වන මූල්‍ය ආයතන අධීක්ෂණ සහ පහසුකම් කළමනාකරණ දෙපාර්තමේන්තු භාර සහකාර අධිපති ලෙස පත් කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 26 කට අධික සේවා කාලයක් සපුරා ඇති කරුණාරත්න මහතා ලේකම්, ආර්ථික පර්යේෂණ, බැංකු අධීක්ෂණ, ප්‍රතිපත්ති සමෝලාචන හා නිරීක්ෂණ, බැංකු ‍නො වන මූල්‍ය ආයතන අධීක්ෂණ, රාජ්‍ය ණය සහ ව්‍යවහාර මුදල් යන දෙපාර්තමේන්තුවල සේවය කර ඇත.  මහ බැංකු සේවා කාලය තුළ කරුණාරත්න මහතා මූල්‍ය අංශය, ව්‍යවහාර මුදල් කළමනාකරණය සහ ආයතනික අංශය පිළිබඳ ව පුළුල් පළපුරුද්දක් ලබා ඇත.  ඔහු ව්‍යවහාර මුදල් ‍කළමනාකරණය හ මෙහෙයුම්, සහ ශ්‍රී ලංකාව තුළ බාසල් III රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා සක්‍රීය ව දායක විය.  බිඳ වැටුණු ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ ආයෝජකයන්ට ගෙවීම් සිදු කිරීමට ක්‍රම වේදයක් සොයා බැලීම සඳහා උපකාරී වීමට පිහිටවනු ලැබූ බාහිර කමිටුවෙහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරුණාරත්න මහතා පත් කරන ලදී. විශේෂයෙන් ම ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වන “අපි වෙනුවෙන් අපි” අරමුදල පිහිටුවීම වැනි වැදගත් ක්ෂේත්‍ර ගණනාවක කරුණාරත්න මහතා උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇත.  ඔහු ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය සහ විශ්වවිද්‍යාල විසින් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණ සහ දැනුම්වත් කිරීමේ වැඩසටහන්වල නිත්‍ය සම්පත් දායකයෙකු ලෙස ද කටයුතු කරයි.  කරුණාරත්න මහතා ජාත්‍යන්තර වැඩසටහන්වල මාණ්ඩලික සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති අතර, දේශන ද පවත්වා ඇත.  බැංකු අධීක්ෂණය හා සම්බන්ධ මාතෘකා පිළිබඳ පර්යේෂණ කෙරෙහි උනන්දුවක් දක්වන කරුණාරත්න මහතා ඒ සම්බන්ධව පර්යේෂණ පත්‍රිකා සහ ලිපි ලියා පළ කර ඇත.     

කරුණාරත්න මහතා ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයෙන් (University of New South Wales, Australia) මූල්‍ය පිළිබඳ වාණිජ්‍යපති උපාධිය ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යවහාර සංඛ්‍යානය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සහ භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය ද ලබා ඇත.  කරුණාරත්න මහතා එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ අධිසාමාජිකත්වය සහ ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය දරයි. 

කේ. ගුණතිලක මහත්මිය

අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ කේ.ගුණතිලක මහත්මිය බැංකු විදු පියෙස, පුහුණු හා සංවර්ධන සහ ප්‍රතිපත්ති සමාලෝචන හා නිරීක්ෂණ දෙපාර්තමේන්තු භාර සහකාර අධිපති ලෙස පත් කර ඇත.

ගුණතිලක මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවේ ග්‍රාමීය ණය, ආර්ථික පර්යේෂණ, ප්‍රාදේශීය සංවර්ධන, ජාත්‍යන්තර මෙහෙයුම්, පුහුණු, සේවක අර්ථසාධක අරමුදල්, මානව සම්පත් සහ අභ්‍යන්තර විගණන යන ක්ෂේත්‍රයන්හි වසර 31කට අධික සේවා කාලයක් සපුරා ඇත.

ගුණතිලක මහත්මිය සිය දීර්ඝ සේවා කාලය තුළ සේවක අර්ථසාධක අරමුදලේ වාර්තා ඩිජිටල්කරණය ආරම්භ කිරීම හරහා නිර්ලේඛන වටපිටාවක් ඇති කිරීමටත් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික සේවා සැපයීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා ව්‍යාපෘති රැසක් හඳුන්වා දීමටත් මූලික විය.  ගුණතිලක මහත්මිය බැංකුවෙහි මානව සම්පත් කළමනාකරණය කෙරෙහි ද සැලකිය යුතු දායකත්වයක් දැක්වීය.

ගුණතිලක මහත්මිය බැංකු විදු පියෙසෙහි සම්පත් දායකයෙකු ලෙස කටයුතු කරන අතර, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ බාහිර කථිකාචාර්යවරියක ලෙස ද සේවය කළා ය.  දැනට ගුණතිලක මහත්මිය සීමාසහිත දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රයෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස කටයුතු කරන්නී ය.  ඇය කෘෂිකාර්මික සහ කෘෂි රක්ෂණ මණ්ඩලයේ ගොවීන්/ධීවරයන් සඳහා වන විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ වැඩසටහන් පිළිබඳ උපදේශක කමිටු සාමාජිකාවක ලෙස ද කටයුතු කර ඇත.  ඇය ශ්‍රී ලංකා අභ්‍යන්තර විගණකවරුන්ගේ ආයතනයේ සාමාජිකාවක් ද වේ. ගුණතිලක මහත්මිය සුනාමියෙන් විපතට පත් දරුවන් සඳහා වන මහ බැංකු භාර අරමුදල ඇතුළු බැංකුවේ කාර්ය මණ්ඩල සංගම් විසින් ක්‍රියාත්මක කරන ලද සාමූහික සාමාජීය වගකීම් ව්‍යාපෘති සඳහා සක්‍රීය ව සම්බන්ධ විය.

ගුණතිලක මහත්මිය ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉලිනොයි විශ්ව විද්‍යාලයෙන් (University of Illinois, USA) ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය වෙතින් මානව සම්පත් විශේෂිත ව්‍යාපාර පරිපාලන විද්‍යාපති උපාධිය ද එම විශ්වවිද්‍යාලයෙන් ම සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ද කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද ලබා ඇත.  ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් මානව සම්පත් පද්ධති සහ ශිල්ප ක්‍රම පිළිබඳ වෘත්තීය ඩිප්ලෝමාවක් ද ලබා ඇත.

 

Published Date: 

Friday, September 15, 2017