ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකමේ දෙවන සමාලෝචනය පිළිබඳ නිලධාරි මට්ටමේ එකඟතාවකට එළඹෙයි

මෙම ප්‍රකාශනයේ ඇති අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන්ගේ මතය වන අතර එ මඟින් අවශ්‍යයෙන් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ මතය පිළිබිඹු නො කෙරෙයි. මේ දක්වා රැස් කර ගෙන ඇති කරුණු පදනම් කර ගෙන කළමනාකාරිත්වයේ අනුමැතියට යටත් ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් වාර්තාවක් පිළියෙළ කරන අතර එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ඡා කිරීමටත් තීරණ ගැනීම සඳහාත් ඉදිරිපත් කෙරෙයි. 

  • නිලධාරි මට්ටමේ එකඟතාව බලධාරින් විසින් ක්‍රියාත්මක කළ යුතු පූර්ව ක්‍රියාමාර්ග සම්පූර්ණ කිරීමට සහ 2017 ජූනි මාසයේ දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල රැස්වීමේ අනුමැතියට යටත් වේ.
  • නව දේශිය ආදායම් පනත මඟින් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව අඛණ්ඩ ව පවත්වා ගෙන යෑමට අවකාශ සලසනු ඇත. 
  • අවිනිශ්චිත ගෝලීය ආර්ථික වටපිටාවක් තුළ රාජ්‍ය මූල්‍ය සහ විදේශීය අංශයන්හි අවදානම් කළමනාකරණය කර ගැනීම සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අඛණ්ඩ ව පවත්වා ගැනීම වැදගත් වේ.

මාර්තු මාසයේ දී කොළඹ සිදු කළ සංචාරයේ දී බලධාරින් සමඟ සිදු කළ සාධනීය සාකච්ඡා සහ ඉතා මෑතක දී පැවැත්වුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර්ධ වාර්ෂික සමුළුව අතර තුර පැවැති සාකච්ඡාවලින් පසු ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරින් කණ්ඩායමක් විසින් වොෂින්ටන් නුවර දී පහත සඳහන් ප්‍රකාශය නිකුත් කරන ලදී. 

“බලධාරින් විසින් පූර්ව ක්‍රියාමාර්ග සම්පූර්ණ කිරීමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත් ව තුන් අවුරුදු ණය පහසුකම තුළින් සහාය ලැබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනෙහි දෙවන සමාලෝචනය පිළිබඳ ශ්‍රී ලංකා බලධාරින් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරින් කණ්ඩායම එකඟතාවකට එළඹුණි.

“2017 වසරේ ජූනි මාසයේ දී දෙවන සමාලෝචනය අවසාන කිරීමට ශ්‍රී ලංකාව කළ ඉල්ලීම විධායක මණ්ඩලය විසින් සලකා බලනු ඇතැ යි අපේක්ෂා කෙරෙන අතර ඒ වන විට පූර්ව ක්‍රියාමාර්ගයක් ලෙස නව දේශිය ආදායම් කෙටුම්පත පාර්ලිමේන්තුවට යොමු කර තිබෙනු ඇතැ යි අපේක්ෂා කෙරෙයි. මෙම නව පනත ආදායම් එක් රැස් කිරීම මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව අඛණ්ඩ ව පවත්වා ගෙන යෑමට අවකාශ සලසනු ඇති අතර මෙය රජයේ ප්‍රතිසංස්කරණ වැඩසටහනෙහි මූලික අංගයකි. 

“2016 වසර අවසානයේ දී ශුද්ධ විදේශීය සංචිත සඳහා වූ ඉලක්කය සපුරා ලීමට නො හැකි වීම හේතුවෙන් සිදු වූ පසුබෑම මග හරවා ගැනීම සඳහා ශ්‍රී ලංකා බලධාරින් විසින් මෙම වසර තුළ දී සංචිත නැවත ගොඩ නැංවීම සඳහා දරන උත්සාහය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරි කණ්ඩායමේ පැසසුමට ලක් වේ. මෙ ලෙස විදේශීය සංචිත ගොඩ නැංවීම අඛණ්ඩ ව සිදු කළ යුතු වන අතර එය ශ්‍රී ලංකාවේ විදේශීය අංශයේ පැවැති අවදානම අවම කර ගැනීම සඳහා උපකාරී වනු ඇත. 

“ශ්‍රී ලංකා බලධාරින් විශේෂයෙන් ම රාජ්‍ය මූල්‍ය තත්ත්වයෙහි ඇති වූ වැඩිදියුණු වීම සමඟ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළෙහි ප්‍රගතියක් අත්පත් කර ගනිමින් සිටී. අවිනිශ්චිත ගෝලීය ආර්ථික වාතාවරණය හමුවේ රාජ්‍ය මූල්‍ය අංශයේ සහ විදේශීය අංශයේ පවතින අසමතුලිතතා නිරාකරණය කර ගැනීම සඳහා මෙම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අඛණ්ඩ ව පවත්වා ගෙන යෑම බෙහෙවින් වැදගත් වනු ඇත.”

 

Published Date: 

Wednesday, May 3, 2017