මුදල් ප්‍රතිපත්ති විවරණය: අංක 08 - 2023 නොවැම්බර්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2023 නොවැම්බර් මස 23 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 9.00 සහ සියයට 10.00 දක්වා පදනම් අංක 100කින් අඩු කිරීමට තීරණය කළේය. ආර්ථිකයට එහි විභව නිමැවුම් මට්ටමට ළඟා වී එම මට්ටමේ ස්ථායී වීමට සහාය වෙමින්, මැදි කාලීනව උද්ධමනය ඉලක්කගත සියයට 5ක මට්ටමට ළඟා කර ගැනීමේ හා පවත්වාගෙන යෑමේ අරමුණින්, දේශීය හා ගෝලීය ආර්ථිකයේ වත්මන් සහ අපේක්ෂිත ප්‍රවණතා පිළිබඳ මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. දේශීය හා ගෝලීය වශයෙන් අපේක්ෂිත ප්‍රවණතා මගින් ඇති වන සැපයුම් අංශයේ සාධක හේතුවෙන් නුදුරු කාලීන උද්ධමන පුරෝකථන සඳහා ඇති විය හැකි ඉහළ යෑමේ අවදානම් මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී. කෙසේ වෙතත්, මහජනතාවගේ උද්ධමන අපේක්ෂා පාලනය වී ඇති නිසාත් ආර්ථික ක්‍රියාකාරකම් නුදුරු කාලයේ සිට මැදි කාලය දක්වා විභව නිමැවුම් මට්ටමට වඩා අඩු මට්ටමක පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇති නිසාත්, එවැනි නුදුරු කාලීන උද්ධමනය ඉහළ යෑමේ අවදානම් මැදි කාලීන උද්ධමන ඉදිරි දැක්ම වෙනස් නොකරනු ඇති බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අදහස විය. තවද, මෙම ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කිරීම මෙන්ම 2023 වසරේ ජූනි මස සිට ක්‍රියාත්මක කරන ලද මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සමඟ මැදි කාලීනව උද්ධමනය ස්ථායී කිරීම සඳහා ප්‍රමාණවත් මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමක් සිදු වී ඇති බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අදහස විය. එබැවින්, ඉදිරි කාලසීමාව තුළදී වෙළඳපොළ පොලී අනුපාතික සාමාන්‍යකරණය කිරීම වේගවත් කරමින්, මූල්‍ය ආයතන විසින් මුදල් ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග කඩිනමින් සහ පූර්ණ වශයෙන් වෙළඳපොළ පොලී අනුපාතික, විශේෂයෙන්ම ණය පොලී අනුපාතික, වෙත සම්ප්‍රේෂණය කිරීමේ අවශ්‍යතාවය මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් අවධාරණය කරන ලදී.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Friday, November 24, 2023