කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2023 ජනවාරි මාසයේ දී තවදුරටත් පහළ ගියේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 දෙසැම්බර් මාසයේ වාර්තා වූ සියයට 57.2හි සිට 2023 ජනවාරි මාසයේ දී සියයට 54.2 දක්වා පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 ජනවාරි මාසයේ දී  අපේක්ෂා කරන ලද උද්ධමනය පහළ යෑමේ ප්‍රවණතාවට බොහෝ දුරට අනුකූල වේ.

ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 දෙසැම්බර් මාසයේ පැවති සියයට 64.4හි සිට 2023 ජනවාරි මාසයේ දී සියයට 60.1 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 දෙසැම්බර් මාසයේ පැවති සියයට 53.4හි සිට 2023 ජනවාරි මාසයේ දී සියයට 51.0 දක්වා පහළ ගියේය. 2023 ජනවාරි මාසයේ දී කො.පා.මි. දර්ශකයේ මාසික වෙනස, සියයට 0.43ක් ලෙස වාර්තා විය. මෙයට ප්‍රධාන වශයෙන් දායක වූයේ ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල අයිතමවල මිල ගණන් මාසිකව ඉහළ යෑම වන අතර, එම දායකත්වය පිළිවෙලින්, සියයට 0.23 ක් සහ සියයට 0.20ක් විය. තවද, වාර්ෂික සාමාන්‍ය උද්ධමනය, 2022 දෙසැම්බර් මාසයේ පැවති සියයට 46.4හි සිට 2023 ජනවාරි මාසයේ දී සියයට 49.6 දක්වා ඉහළ ගියේය. ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2022 දෙසැම්බර් මාසයේ පැවති සියයට 47.7හි සිට 2023 ජනවාරි මාසයේ දී සියයට 45.6 දක්වා පහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය, 2022 දෙසැම්බර් මාසයේ පැවති සියයට 34.6හි සිට 2023 ජනවාරි මාසයේ දී සියයට 37.6 දක්වා ඉහළ ගියේය.  

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සාර්ව ආර්ථික පුරෝකථන අනුව, දැඩි මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතුවෙන් යටපත් වූ ඉල්ලුම් තත්ත්වයන්, දේශීය සැපයුම් තත්ත්වයන්හි අපේක්ෂිත වැඩිදියුණු වීම්, සහ අපේක්ෂිත ගෝලීය බලශක්ති සහ ආහාර මිල ගණන් ලිහිල් වීම හේතුවෙන් දේශීය මිල මට්ටම් පහළ යෑම මෙන්ම හිතකර සංඛ්‍යානමය පදනම් බලපෑම හේතුවෙන් උද්ධමනයේ පහත වැටීමේ ප්‍රවණතාව 2023 වසර පුරා පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, දේශීය බලශක්ති මිල ගණන් වල ඇති විය හැකි ඉහළ යෑම් හා ඒ ආශ්‍රිත ඇතිවිය හැකි පසු බලපෑම්, ගෝලීය බලශක්ති හා ආහාර මිල ගණන්වල පහළ යෑම දේශීය පාරිභෝගිකයන් වෙත සම්ප්‍රේෂණය වීමේදී ඇති විය හැකි ප්‍රමාද වීම් ආදිය හේතුවෙන් අපේක්ෂිත උද්ධමනය ඉහළ යෑමේ අවිනිශ්චිතතා ඇති විය හැක. එසේ නමුත්, මහජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව අඩු වීම වැනි සාධක හේතුවෙන් උද්ධමන පීඩන අඩු විය හැකි අතර එමගින් අපේක්ෂිත උද්ධමනය පහළ යෑමේ අවිනිශ්චිතතා ඇති විය හැක. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Tuesday, January 31, 2023