ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා හරිත මූල්‍ය වර්ගීකරණය හඳුන්වා දෙනු ලබයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 මැයි 06 වැනි දින මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ශ්‍රී ලංකා හරිත මූල්‍ය වර්ගීකරණය (Sri Lanka Green Finance Taxonomy) හඳුන්වා දෙනු ලැබීය. ශ්‍රී ලංකා හරිත මූල්‍ය වර්ගීකරණය යනු පාරිසරික වශයෙන් තිරසාර ආර්ථික ක්‍රියාකාරකම් නිර්වචනය කර වර්ගීකරණය කරන පද්ධතියක් වන අතර, එය 2019 දී මහ බැංකුව විසින් හඳුන්වා දුන් ශ්‍රී ලංකාව සඳහා වන තිරසාර මූල්‍ය පෙර දැක්මෙහි (Roadmap for Sustainable Finance in Sri Lanka) දක්වා ඇති ප්‍රධාන අංගයකි. මෙම වර්ගීකරණය ජාත්‍යන්තර මනා පරිචයන්ට මෙන් ම, දේශීය තත්වයන්ට අනුකූලව සකස් කර ඇති බැවින් මූල්‍ය වෙළෙඳපොළ ක්‍රියාකාරීන්ට දේශීය මෙන් ම විදේශීය වෙළෙඳපොළ හරහා හරිත කටයුතු සඳහා අඩු පිරිවැය සහිත අරමුදල් රැස් කිරීමට හැකි වනු ඇති බවට අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා හරිත මූල්‍ය වර්ගීකරණය, විවිධ මූල්‍ය උපකරණ (බැංකු ණය, ණය උපකරණ, කළඹ කළමනාකරණය සහ ආයෝජන අරමුදල් වැනි) පිරිනමන සියලුම දේශීය සහ විදේශීය වෙළෙඳපොළ ක්‍රියාකාරීන්ට, විශාල සමාගම් වලට මෙන් ම ජාතික සහ පළාත් පාලන ආයතන සඳහා අදාළ වේ. එය කර්මාන්ත පිළිබඳ සැලසුම් සකසන බලධාරීන්ට පරිශිලකයක් ලෙස භාවිතා කළ හැකි අතර, වනාන්තර සහ දැව කැපීම, කෘෂිකර්මාන්තය, නිෂ්පාදන, විදුලි බල උත්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම, ගෑස් , වාෂ්ප සහ වායු සමීකරණ සැපයුම, ජල සැපයුම, මලාපවහන සහ අපද්‍රව්‍ය කළමනාකරණය, ඉදිකිරීම්, ප්‍රවාහනය සහ ගබඩා කිරීම, මූල්‍ය සේවා සහ සංචාරක සහ විනෝදාස්වාදය වැනි ආර්ථික ක්‍රියාකාරකම් පරාසයක් ආවරණය වන හරිත කර්මාන්ත සඳහා සහාය වීමට පළාත් පාලන ආයතන සඳහා පදනමක් ලෙස ද යොදා ගත හැක.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Thursday, May 12, 2022