මූඩීස් ආයතනයේ කාලානුරූපී නො වන සහ පිළිගත නො හැකි ශ්‍රේණිගත කිරීම පක්ෂග්‍රාහීභාවය පි‍ළිබඳ ගැටලු නැවත ඉස්මතු කරයි

මූඩීස් ආයෝජන සේවාව විසින් මෑතක දී සිදු කරන ලද ණය ශ්‍රේණිගත කිරීමේ ඇගයීම සහ එය පාදක කොට ගෙන සිදු කරන ලද ණය ශ්‍රේණිගත කිරීම පිළිබඳ ව ශ්‍රී ලංකා රජය දැඩි අප්‍රසාදය පළ කරයි. මෙම ක්‍රියාවලිය, මෙයට මාස තුනකට පෙර මේ ආකාරයට ම ණය ශ්‍රේණිගත කිරීම පහත හෙලීම සඳහා සමාලෝචනයකට යටත් j පවත්වා ගැනීමෙන් අනතුරු ව සිදු කර ඇත. නැවත වතාවක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මූඩීස් ආයතනයේ අතාර්කික ශ්‍රේණිගත කිරීම වැදගත් සිදු වීමකට දින කිහිපයකට පෙර, එනම් 2022 වසර සඳහා වන රජයේ අයවැය ප්‍රකාශයට පත් කිරීමට පෙර සිදු වීම තුළින් ඔවුනට ඇති අනවශ්‍ය ඉක්මන්භාවය පෙන්නුම් කරන අතර ම, රජයේ මූල්‍යන සැලසුම්වලට අයවැයේ ස්වභාවය අදාළ නො වන බවට මූඩීස් විශ්ලේෂකයින් සමඟ සිදු කරන ලද සාකච්ඡාවල දී ඔවුන්ගෙන් ප්‍රකාශ වූ මතය පැහැදිලි ව ම එවැනි විශ්ලේෂකයින්ගේ පවත්නා අනවබෝධය විදහා දක්වයි. මෙමගින් මෙවැනි ආයතනවල පාලනයේ ඇති දුර්වලතා පිළිබිඹු කෙරෙන අතර, මෙම ආයතන නැගී එන වෙළෙඳපොළ ආර්ථිකයන්හි ධනාත්මක වර්ධනයන් සහ අපේක්ෂාවන් ක්‍රමානුකූල ව නො සලකා හැර සෘණාත්මක අවදානම් සඳහා වැඩි බරක් යොදවන බව පෙන්නුම් කරයි. 2021 වසරේ ඔක්තෝබර් මස 26 වන දින ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ප්‍රකාශයට පත් කළ පරිදි, රටේ  විදේශ අංශය ශක්තිමත් කිරීමට අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග රැසක නවතම ප්‍රවණතා මෙන් ම, ඉන් කිහිපයක අපේක්ෂිත ප්‍රතිඵල දැනටමත්  ලැබී ඇති බව ණය ශ්‍රේණිගත කිරීමේ ඇගයීමේ දී අවධානයට ලක් කිරීමට මූඩීස් ආයතනය අසමත් ව ඇත. එපමණක් නො ව, 'පාලන දුර්වලතා' සහ 'අභියෝගාත්මක දේශීය දේශපාලන වාතාවරණය' පිළිබඳ ව සඳහන් කරන විට, ප්‍රජාතන්ත්‍රවාදී පසුබිමක් තුළ රටේ පවත්නා හොඳින් ස්ථාපිත වූ දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ ව ශ්‍රේණිගත කිරීමේ ආයතනයේ නොදැනුවත්භාවය සහ පසුගිය කාලය තුළ දී රටක් වශයෙන් මුහුණ දුන් විවිධ දුෂ්කරතාවල දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි ආයෝජකයින් අපහසුතාවට පත් නො කරමින් එම අහිතකර බාහිර තත්ත්වයන්ගෙන් යථා තත්ත්වයට පත්වීමේ දී රටක් වශයෙන් මුහුණ දෙනු ලැබූ අභියෝග කෙරෙහි මෙම ආයතනය පැහැදිලි ව ම සංවේදී නො වන බව එම ඇගයීම මගින් හෙළිදරව් වේ. 

2021 වසරේ ඔක්තෝබර් 01 වන දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කරන ලද සය මාසික පෙර දැක්මේ ප්‍රකාශිත සය මාසික උපාය මාර්ගයට අමතර ව, නුදුරු අනාගතයේ දී ලැබීමට නියමිත විවිධ ද්විපාර්ශ්වික මූලාශ්‍ර සමඟ රජය අවසන් එකඟතාවකට පැමිණෙමින් පවතින මැදි හා දිගුකාලීන අරමුදල් පිළිබඳ ව සැලකිලිමත් වීමට මූඩීස් ආයතනය අසමත් වී ඇත. මෙම ණය පහසුකම් අතර ඛනිජ තෙල් ලබා ගැනීම සඳහා ඉන්දියාව සහ මැද පෙරදිග රටවලින් එක්සත් ජනපද ඩොලර් බිලියන කිහිපයක ණය පහසුකම්, ද්විපාර්ශ්වික දිගුකාලීන ණයක් ලෙස මැද පෙරදිග රටකින් විශාල විදේශ විනිමය ණයක් ලබා ගැනීමේ වැඩපිළිවෙළ සහ දැනට ඇගැයීමට ලක් වෙමින් පවතින ඒකාබද්ධ ණය පහසුකම සඳහා ලැබී ඇති යෝජනා ද ඇතුළත් වේ. මීට අමතර ව, දැනටමත් ලැබීමට නියමිත ප්‍රමුඛතාව ලබා දී ඇති ව්‍යාපෘති ආශ්‍රිත ණය පහසුකම් මගින් රජය වෙත සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ලැබීමට අපේක්ෂා කෙරේ. මහ බැංකු කිහිපයක් සමඟ ද්විපාර්ශ්වික විදේශ විනිමය හුවමාරු පහසුකම් සම්බන්ධයෙන් මෑතක දී පැවැත්වූ සාකච්ඡා තුළින් ද නුදුරු අනාගතයේ දී රටට අමතර සහයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

එවැනි මුදල් ප්‍රවාහ සැලකිල්ලට නො ගෙන, රජයේ ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳ යම්කිසි ඇගැයීමක් සිදු කිරීම මගින් සත්‍යයෙන් තොර වූ පූර්ව නිගමනයක් පෙන්නුම් කරයි. කොවිඩ්-19 වසංගතයේ අහිතකර බලපෑම් හමුවේ ශ්‍රී ලංකාව ශක්තිමත් ලෙස නැගී සිටින අවස්ථාවක එවැනි පක්ෂග්‍රාහී ඇගැයීමක් මත පදනම් ව ශ්‍රේණිගත කිරීම අසාධාරණ මෙන් ම රටේ අනාගත අපේක්ෂාවලට ද අනර්ථදායක ය. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක එවැනි ක්‍රියාවක් මගින් ආයෝජක ප්‍රජාව වෙත සිදු කෙරෙන දැනුම්දීමක වලංගුභාවය සම්බන්ධයෙන් ගැටලු ඇති වන බව විශේෂයෙන් පැවසිය යුතු නැත. කෙසේ වෙතත්, මූඩීස් ආයතනය විසින් ශ්‍රී ලංකාව ණය පැහැර හැරීමේ විශාල අවදානමක සිටින බව ප්‍රකාශ කළ ද, කල්පිරීමේ දිනය තෙක් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල හිමිකාරීත්වය අඛණ්ඩ ව පවත්වා ගෙන යෑමට ජාත්‍යන්තර ආයෝජකයින්ගේ ඇති කැමැත්ත තුළින් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් වීමේ සැලසුම් කෙරෙහි ඔවුන් විශ්වාසය තබා ඇති බව පැහැදිලි ය. 

ආර්ථික ක්‍රියාකාරකම් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින පසුබිමක 2021 නොවැම්බර් 12 වැනි දින ඉදිරිපත් කිරීමට නියමිත ඉදිරි වසර සඳහා වන අයවැය සකස් කිරීමේ ක්‍රියාවලියේ ශ්‍රී ලංකා රජය නියැලෙමින් සිටින අතර, සංචාරක ව්‍යාපාරය සහ ඌන උපයෝජිත උපාය මාර්ගික නො වන වත්කම්වලින් මුදල් රැස් කිරීම ඇතුළු ව ණය නො වන විදේශ මුදල් උත්පාදනය කරන වෙනත් ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වීමේ සැලකිය යුතු තත්ත්වයක් ශ්‍රී ලංකාව දැනටමත් අත්විඳිමින් සිටී. අයවැයට පෙර මෙම කාලානුරූපී නො වන ශ්‍රේණිගත කිරීමේ තීරණය මගින් පෙන්නුම් කරනු ලබන්නේ රටේ කාර්යසාධනය සහ අපේක්ෂිත ගමන් මඟ පිළිබඳ ඇගැයීම සිදු කිරීම සඳහා මූඩීස් ආයතනය අදාළ සියලු තොරතුරු සැලකිල්ලට ගෙන නොමැති බවයි. බාහිර අභියෝග සමනය කිරීමට සහ රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරිත්වය කෙටි කාලයේ සිට මැදි කාලීන ව වැඩිදියුණු කිරීමට උපකාරී වන ප්‍රතිපත්තිමය මුලපිරීම් සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා දිශානතිය සකසන රජයේ අයවැය රටකට වැදගත් ප්‍රකාශනයක් බව විශේෂඥ දැනුමක් නොමැති පුද්ගලයෙකු පවා වටහා ගනු ඇත. විසර්ජන පනත තුළින් විදේශීය මූල්‍යනය ද ඇතුළත් ව අයවැය හිඟය මූල්‍යනය කිරීමේ සියලු ම අංශයන් නීත්‍යනුකූල ව පෙන්නුම් කෙරෙන අතර එමගින් රාජ්‍ය මූල්‍ය අංශයේ පැහැදිලි දිශානතියක් පිළිබිඹු කරයි. එබැවින්, සිය ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාමාර්ගයට එළඹීමේ දී අයවැය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ නිකුත් කෙරෙන එවැනි වැදගත් තොරතුරු නො සලකා හැරීම මගින් ඉදිරි අයවැය සඳහා නිසි සැලකිල්ලක් දැක්වීමට මූඩීස් ආයතනය අපොහොසත් වීම විමතිය දනවන කරුණකි.

මූඩීස් ආයතනය මගින් සිදු කරන ලද මෙම ක්‍රියාව ලංකාවට නවමු අත්දැකීමක් නො වන අතර මෙවැනි ආකාරයේ අයුක්ති සහගත ණය ශ්‍රේණිගත කිරීම් පිළිබඳ ක්‍රියාමාර්ග මීට පෙර ද මූඩීස් ආයතනය විසින් සිදු කර ඇත. නිදසුනක් වශයෙන්, කොවිඩ් 19 වසංගතය ආරම්භයේ දී සහ ශ්‍රී ලංකා රජය චීන සංවර්ධන බැංකුව සමඟ විදේශ මුදල් කාලීන ණය පහසුකම අත්සන් කිරීමත් සමඟ 2020 අප්‍රේල් මස 17 දින මූඩීස් ආයතනය විසින් ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහත දැමීම සඳහා සමාලෝචනයට යටත් ව තබන ලද අතර ඒ හේතුවෙන් එම ණය පහසුකම ක්‍රිියාත්මක කිරීම සහ අරමුදල් ලැබීම ප්‍රමාද විය. එම ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් ඔක්තෝබර් මස කල් පිරීමට ඉතා ආසන්නයේ එනම් 2020 වසරේ සැප්තැම්බර් මස 28 වන දින සිදු කරන ලදී. තව ද, ශ්‍රී ලංකා මහ බැංකුව බංග්ලාදේශ බැංකුව සමඟ විදේශ විනිමය හුවමාරු පහසුකම සම්බන්ධ අවසන් එකඟතාවකට පැමිණෙමින් පැවතිය දී සහ කල් පීරීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නැවත ගෙවීමට සූදානම් ව සිටි අතරතුර දී මූඩීස් ආයතනය විසින් 2021 ජූලි 19 දින ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහත දැමීම සඳහා සමාලෝචනයට යටත් ව තබන ලදී. මෙවැනි ගැටලුකාරී ක්‍රියා නිසා මූඩීස් ආයතනයේ ක්‍රියා, ආර්ථික ප්‍රතිලාභ මත පමණක් පදනම් ව ක්‍රියාත්මක වේදැයි සැකයක් මෙන් ම ඔවුන්ගේ විශ්වසනීයත්වය පිළිබඳ ව ගැටලු ඇති කරයි. 

ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ජාත්‍යන්තර ආයෝජක ප්‍රජාව ඇතුළු සියලු ම පාර්ශ්වකරුවන් සමඟ සමීප ව කටයුතු කරමින් සිටියි. පසුගිය කාලය පුරා සිදු කර ඇති පරිදි රජයේ කැමැත්ත සහ ඉදිරි සියලු ණය සේවා වගකීම් ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳ ව ආයෝජකයින්ගේ කිසියම් සැකයක් ඇත්නම් එය දුරු කිරීමට එවැනි මැදිහත්වීම් උපකාර වී ඇත. 2021 වර්ෂයේ පළමු අර්ධයේ දී සියයට 8.0ක මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක් සමඟින් ශ්‍රී ලංකා ආර්ථිකය පුළුල් පදනමක් මත යථා තත්ත්වයට පත් වීමේ ප්‍රබල සලකුණු පෙන්නුම් කර ඇත. එන්නත් කිරීමේ වැඩසටහන උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වෙමින් ජනගහනයෙන් සියයට 60කට වැඩි ප්‍රමාණයක් සඳහා මාත්‍රා දෙක ම ලබා දී ඇති අතර වසර 30ට වැඩි ජනගහනයෙන් සියයට 100කට ආසන්න ප්‍රමාණයක් සම්පුර්ණයෙන් එන්නත් කර ඇත. එමගින්, 2022 වර්ෂයේ දී ආර්ථික ක්‍රියාකාරකම් ශක්තිමත් ව යථා තත්ත්වයට පත් වනු ඇතැයි විශ්වාසයක් ඇති කෙරේ. සංචාරක ව්‍යාපාරයේ පිබිදීම සහ වෙළෙඳ භාණ්ඩ අපනයන, සේවා අපනයන, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මෙන් ම දේශීය හා විදේශීය ආයෝජන හරහා විදේශ විනිමය ඉපැයීම් ශක්තිමත් කිරීමේ ප්‍රයත්නයන්ගේ සාර්ථකත්වයත් සමග මධ්‍ය කාලීන ආර්ථික වර්ධන මාවත ශක්තිමත් වනු ඇත. මූඩීස් ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් මතු කරන ලද අස්ථාන බිය මධ්‍යයේ වුව ද ඉතා කෙටි කාලයක් තුළ වෙළෙඳ භාණ්ඩවල කාර්ය සාධනය සහ සේවා වෙළෙඳාම වැඩිදියුණු වීම තුළින් ආර්ථිකයේ විභව මට්ටම කරා ළඟා වීමේ හැකියාව පෙන්නුම් කර ඇත. විශේෂයෙන් ම ගෝලීය වසංගතයක් පවතින අවස්ථාවක දී අතාර්කික, ස්ථිතික ක්‍රමවේදයක් මත පදනම් ව ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම පහත හෙලීමෙන් රටේ මෙම විභවය අඩාල කිරීමට මූඩීස් ශ්‍රේණිගත කිරීමේ ආයතනය දරන උත්සාහය දැඩි කලකිරීමක් ඇති කරයි. වියදම් තාර්කීකරණය හරහා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව සඳහා රජයේ කැපවීමට ආර්ථික ක්‍රියාකාරකම් සාමාන්‍යකරණයට පත්වීම මගින් රාජ්‍ය ආදායම ක්‍රමානුකූල ව ඉහළ නැංවීමට සහය වන අතර එමගින් රාජ්‍ය මූල්‍ය හිඟය අඩු කෙරෙන බව මූඩීස් ශ්රේණිගත කිරීමේ ආයතනය විසින් හඳුනාගෙන නොමැත. රජය විසින් ක්රියාවට නංවන ලද වර්ධනයට හිතකර ප්රතිසංස්කරණ මගින් සංක්රාන්ති කාල සීමාව තුළ යම් ගැලපුම් පිරිවැයක් දැරීමට සිදු වුව ද, මධ්‍ය කාලීන ව දේශීය නිෂ්පාදන ප්‍රමුඛ කර ගත් අපනයන-අභිමුඛ ආර්ථිකයක් සඳහා පදනම දමා ඇත. රජය සතු එම හැකියාව සහ කැපවීම නො සලකා හැරීම මූඩීස් ආයතනය විසින් නො දැනුවත්භාවයෙන් යුතු නිගමනවලට එළඹීමට තුඩු දී ඇත. 

මෙම පසුබිම යටතේ වුව ද, ඉදිරි කාලසීමාව තුළ දී ශ්‍රී ලංකාව අනාගත ණය වගකීම් ආපසු ගෙවීම සම්බන්ධයෙන් කැප වී කටයුතු කරන බව ජාත්‍යන්තර ආයෝජක ප්‍රජාව ඇතුළු සියලු ම පාර්ශ්වකරුවන් වෙත නැවත සහතික කිරීමට රජය අපේක්ෂා කරයි. එමෙන් ම, ශ්‍රී ලංකා බලධාරීන් ආයෝජකයන් සමග සෘජු සම්බන්ධතා දිරිමත් කරන අතර, බාහිර ආයතනවල පදනම් විරහිත නිවේදනවලින් පසුබට නො වී නිරන්තර ව මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වීම සඳහා ද ආයෝජකයින්ට ආරාධනා කරනු ලබයි.

 

Published Date: 

Thursday, October 28, 2021