කො.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 69.8ක් වශයෙන් වාර්තා විය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 64.3හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 69.8ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 93.7හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 94.9 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 50.2හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 57.6 දක්වා ඉහළ ගියේය.

2022 සැප්තැම්බර් මාසයේ දී කො.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 3.77ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 0.35කින් සහ සියයට 3.42කින් ඉහළ යෑම මේ සදහා හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩය තුළ, පලතුරු, කුකුල් මස් සහ තිරිඟු පිටි මිල ගණන් ඉහළ ගියේය. එසේ වුවද, සහල්, පරිප්පු සහ සීනි මිල ගණන් වල පහළ යෑමක් මෙම මාසය තුළ දී වාර්තා විය. මේ අතර, ආහාර නොවන කාණ්ඩය තුළ 2022 සැප්තැම්බර් මාසයේ දී, නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන (විදුලි බිල, වතුර බිල සහ භූමිතෙල්), ආපනශාලා සහ හෝටල්, සෞඛ්‍ය, අධ්‍යාපන (ජාත්‍යන්තර පාසල් ගාස්තු), සන්නිවේදන (දුරකථන ගාස්තු) සහ විවිධ භාණ්ඩ සහ සේවා යන උප කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් ඉහළ ගියේය.

තවද, වාර්ෂික සාමාන්‍ය උද්ධමනය, 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 28.0හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 33.4 දක්වා ඉහළ ගියේය.

ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 46.6හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 50.2 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය, 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 20.3හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 24.1 දක්වා ඉහළ ගියේය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Friday, September 30, 2022