2018 අප්‍රේල් මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2018 මාර්තු මාසයේ දී පැවැති සියයට 2.8ට සාපේක්ෂ ව  2016 පෙබරවාරි මස සිට වාර්තා වූ අඩු ම අගය වන සියයට 1.6ක් දක්වා 2018 අප්‍රේල් මාසයේ දී පහළ ගියේ ය. 2018 අප්‍රේල් මස ලක්ෂ්‍යමය උද්ධමනයේ සිදු වූ මෙම පහළ යෑමට 2017 වසරේ අප්‍රේල් මාසය තුළ දී, විශේෂයෙන් ම ආහාර කාණ්ඩයේ මිල ගණන්වල ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස පැවැති ඉහළ පදනම් අගය දායක විය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2018 මාර්තු මාසයේ දී වාර්තා වූ සියයට 6.7 සිට 2018 අප්‍රේල් මාසයේ දී සියයට 6.1 දක්වා පහළ ගියේ ය. 

මාසික වෙනස්වීම් සැලකූ විට, ආහාර නො වන කාණ්ඩයට අයත් අයිතමවල, විශේෂයෙන් ප්‍රවාහන (ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල වැඩි වීම); සහ මධ්‍යසාර සහ දුම්කොළ මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ජාතික පාරිභෝගික මිල දර්ශකය 2018 මාර්තු මාසයේ වාර්තා වූ දර්ශක අංක 122.8 සිට 2018 අප්‍රේල් මාසයේ දී දර්ශක අංක 122.9 දක්වා ඉහළ ගියේ ය. මේ අතර, සැපයුම් තත්ත්වයන්හි සිදු වූ වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස ආහාර කාණ්ඩයේ විශේෂයෙන් ම එළවළු, ලොකු ළූණු සහ පොල් යන අයිතමවල මිල ගණන්හි අඩුවීමක් දක්නට ලැබිණි. 

ආර්ථිකයේ යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2018 අප්‍රේල් මාසයේ දී සියයට 1.9 හි නො වෙනස් ව පැවැතිණි. මේ අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2018 මාර්තු මාසයේ දී වාර්තා වූ සියයට 3.6 සිට 2018 අප්‍රේල් මාසයේ දී සියයට 3.3 දක්වා පහළ ගියේ ය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Monday, May 21, 2018