ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට යළිත් පත් කරයි

පාර්ලිමේන්තු සභාවේ ද අනුමැතිය ඇතිව, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති නීතීඥ, සංජීව ජයවර්ධන මහතා 2027 ජූනි 6 වන දා තෙක්, වසර 6ක නව ධුර කාලයක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට යළි පත් කරන ලදී.

සංජීව ජයවර්ධන මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට පත් වූ ප්‍රථම ජනාධිපති නීතිඥවරයා ද වේ.

ඔහු වර්තමානයේ දී විදේශ ණය අධීක්ෂණ කමිටුවෙහි මුදල් මණ්ඩල මට්ටමේ සභාපතිවරයා ලෙසත්, අවදානම් අධීක්ෂණ කමිටුවෙහි සභාපතිවරයා ලෙසත් කටයුතු කරයි. එමෙන්ම, ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ ආචාර ධර්ම කමිටුවෙහි සභාපතීත්වය ද දරයි.

1992 දී නීතිඥ වෘත්තියට පිවිසි ජයවර්ධන මහතා, වසර 29ක ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විශිෂ්ඨ සේවාවකින් පසු 2012 වසරේ දී ජනාධිපති නීතීඥවරයෙකු ලෙස බුහුමන් ලැබීය. අභියාචනා නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය මෙන් ම පොදු නීතිය පිළිබඳ ව ද විශේෂඥ දැනුමකින් හෙබි ඒ මහතා සිවිල්, ගිවිසුම්, වාණිජ, දේපළ, බදු, බැංකු ආදී නීති ක්ෂේත්‍ර ගණනාවක ම මනා පරිචයකින් යුතු නීති වෘත්තිකයෙකි.

2015 වසරේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ කොමසාරිස් ලෙස සංජීව ජයවර්ධන මහතා පත් කෙරුණු අතර අනතුරුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ද එම තනතුර සඳහා වසර 5ක ධුර කාලයක් සඳහා ඒ මහතා නැවත පත් කරන ලදී.

ශ්‍රී ලංකාව උදෙසා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය සහ ජනාධිපතිතුමන් විසින් පත් කරන ලද විශේෂඥ කමිටුවෙහි සාමාජිකයෙකු වන ඔහු, ශ්‍රී ලංකාවෙහි දත්ත ආරක්ෂණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව වන ජනාධිපති විශේෂඥ කමිටුවෙහි සභාපතීත්වය ද දරයි.

ජයවර්ධන මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ සාමාජිකයෙකි. තවද, ඒ මහතා ගරු අග විනිසුරුතුමන් විසින් සභාපතීත්වය දරනු ලබන, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පාලක මණ්ඩලය වන සංස්ථාපිත නීති අධ්‍යාපන සභාවෙහි මෙන් ම, නීති විද්‍යාලයේ ශාස්ත්‍රීය මණ්ඩලය වන, නීති විද්‍යාලයීය අධ්‍යයන මණ්ඩලයෙහි සාමාජිකයෙකු ලෙස ද සේවය කරයි.

ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමේ දී ජනාධිපතිවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමේ කමිටුවෙහි සාමාජිකයෙකු ලෙස ද අතිගරු ජනාධිපතිවරයා විසින් සංජීව ජයවර්ධන මහතා පත් කරන ලදී.

මින් පෙර ඔහු හිටපු අග විනිසුරු ජනාධිපති නීතිඥ සරත් එන් සිල්වා මහතා සභාපතිත්වය දැරූ ආර්ථික සංවර්ධනය පිළිබඳ ජාතික මණ්ඩලයේ ද සේවය කළේය.

වරක් ඒ මහතා ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ කොමිෂන් සභාවට ද තේරී පත් විය.

ජයවර්ධන මහතා 2004 වසරේ දී “ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම තරුණයන් දස දෙනා වෙනුවෙන් පිරිනැමෙන සම්මානයෙන්” (TOYP) ද පිදුම් ලැබී ය.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී (ගෞරව) උපාධිධරයකු වන සංජීව ජයවර්ධන මහතා එම විශ්වවිද්‍යාලයෙන් ම දර්ශනපති උපාධිය ද ලැබී ය. එසේ ම මේ වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සිය ආචාර්ය උපාධිය නිබන්ධනය සම්පූර්ණ කරමින් සිටියි.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද කටයුතු කොට ඇති ඒ මහතා, නීතිය පිළිබඳ දර්ශනපති උපාධි වැඩසටහන් පිළිබඳ විශේෂ කමිටුවේ සාමාජිකයකු ලෙස ද කටයුතු කරන අතර, නීතිය පිළිබඳ පශ්චාද් උපාධි වැඩසටහනේ සහ දර්ශනපති උපාධි වැඩසටහනේ විභාග පරීක්ෂකවරයකු ලෙස ද සේවය කරයි.

ජයවර්ධන මහතා ඊට අමතර ව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ නීතිවේදී උපාධි උපදේශක මණ්ඩලයේ ද සාමාජිකයෙකි.

ජයවර්ධන මහතා රාජකීය විද්‍යාල සංගමයෙහි භාරකාර මණ්ඩලයෙහි සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතර, ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙහි නීතිය සහ නීති සංවර්ධන කමිටුවෙහි උප සභාපතීත්වය මෙන් ම, ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙහි ශ්‍රේෂ්ඨාධිකරණ කමිටුවෙහි සාමාජිකත්වය ද දරයි.

මින් පෙර, ඒ මහතා උපරිමාධිකරණ සංකීර්ණ කමිටුවෙහි සභාපතිවරයා ලෙසත්, ශ්‍රේෂ්ඨාධිකරණ රීති කමිටුවෙහි සහ ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලයේ මෙන් ම නීතිඥ සංගමයේ නීතිඥ කමිටුවෙහි සාමාජිකයෙකු ලෙසත් සේවය කළේය.

සංජීව ජයවර්ධන මහතාගේ පියාණන් වූ අභාවප්‍රාප්ත ස්ටැන්ලි ජයවර්ධන මහතා ද 1989 මාර්තු 1 වන දා සිට 1994 සැප්තැම්බර් 12 වන දා දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජිකයකු ලෙස සේවය කර ඇත.

Published Date: 

Wednesday, July 14, 2021