ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ ප්‍රගතිය පිළිබඳ ව සාකච්ඡා කිරීමට මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායම සිය සංචාරය අවසන් කරයි

සාමාජික රටක සංචාරය අවසන් කිරීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය විසින් ඉදිරිපත් කරන මූලික නිරීක්ෂණ, දූත මෙහෙයන්ගේ සමාප්තිය දක්වන පුවත්පත් නිවේදන තුළ අන්තර්ගත වේ. මෙම ප්‍රකාශනයේ ඇති අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමේ අදහස් වන අතර, එමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ මතය අත්‍යවශ්‍යයෙන්ම පිළිබිඹු නොවේ. මෙම දූත මෙහෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ඡාවලට බඳුන් නො වේ.

        • ආර්ථිකයේ තරගකාරීත්වය සහ ආර්ථික වර්ධනය ඉහළ නංවා ගැනීමට සහ‍යෝගය දක්වමින්, වෙ‍ළෙඳපොළ විචලනයන්ට මුහුණ දිය හැකි ලෙස ආර්ථිකය සවිමත් කිරීම සඳහා ශක්තිමත් ප්‍රතිපත්ති මාලාවක් සහ විනිමය අනුපාතිකයේ නම්‍යශීලිත්වය පවත්වා ගැනීම අතිශය වැදගත් වේ.
        • ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව කඩිනම් කිරීම අරමුණු කළ යුතු 2019 අයවැය,  රාජ්‍ය ණය අවම කර ගනිමින් ශ්‍රී ලංකාව අපේක්ෂා කරනු ලබන සමාජයීය සහ සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම සඳහා උපකාරී වනු ඇත.  
        • බලධාරීන් විසින් වෙ‍ළෙඳාම, ආයෝජන සහ සාර්ව සහභාගීත්වයක් සහිත වර්ධනයක් සඳහා උපකාරී වන ප්‍රතිසංස්කරණ කටයුතු ශක්තිමත් කළ යුතු වේ.

තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම යටතේ ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනයේ සාකච්ඡා පැවැත්වීම සඳහා මැනුඑලා ගොරෙති (Manuela Goretti) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක් 2018 සැප්තැම්බර් 13 - 27 කාලය තුළ දී කොළඹට පැමිණි අතර, සිය සංචාරය අවසානයේ දී ගොරෙති මහත්මිය විසින් පහත ප්‍රකාශය සිදු කරන ලදි.

“විස්තීර්ණ ණය පහසුකමේ පස්වන ආර්ථික කාර්යසාධන සමාලෝචනය සම්පූර්ණ කිරීම පිළිබඳ ව රජය සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් දූත මණ්ඩලය සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගත්තේ ය.  ඔක්තෝබර් මාසය තුළ දී පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම් අතරතුර දී තවදුරටත් සාකච්ඡා පැවැත්වෙනු ඇත.

“ආර්ථික වර්ධනය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම සහ උද්ධමනය මැදි තනි අගයක ස්ථාවර වීමත් සමඟ 2018 වසරේ පළමු භාගයේ දී සාර්ව ආර්ථික ක්‍රියාකාරිත්වය මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේ ය.  ශක්තිමත් අපනයන ක්‍රියාකාරිත්වයක් හමුවේ වුව ද ඉන්ධන ආනයන ඉහළ යෑම හේතුවෙන් ජංගම ගිණුමේ හිඟය පුළුල් වූ අතර, ගෝලීය වෙළෙඳපොළ තත්ත්වයන්හි විචලනයන් හමුවේ ජාත්‍යන්තර සංචිත, අප්‍රේල් මාසයේ දී වාර්තා වූ ඉහළ ම මට්ටමේ සිට අඩු විය.  2018 වසරේ දී ආර්ථික වර්ධනය සියයට  4ට වඩා අඩු මට්ට‍මක පවතිනු ඇතැ යි ද, මැදිකාලීන ව ආර්ථික වර්ධන වේගය සියයට 5 දක්වා ක්‍රමයෙන් ළඟා වනු ඇතැ යි ද අපේක්ෂා කෙරේ.

“ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ තවදුරටත් පවත්වා ගෙන යෑම සඳහා බලධාරීන් විසින් දරන ලද අඛණ්ඩ උත්සාහය දූත මණ්ඩලයේ පැසසුමට ලක් විය. 2018 ජූනි මස අවසාන වන විට ප්‍රාථමික අතිරික්තය සම්බන්ධයෙන් වූ කාර්යසාධන ඉලක්කය ළඟා කර ගත් අතර, උද්ධමනය ශ්‍රී ලංකා මහ බැංකුවේ සීමා තුළ පැවැතුණි. කෙ සේ වෙතත්, ආර්ථික වාතාවරණය සාධනීය මට්ටමක නො පැවතීම සහ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ දී සිදු වූ ප්‍රමාදවීම් හේතුවෙන් සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු මට්ටමක පැවැතුණි.

“ශ්‍රී ලංකා ආර්ථිකයේ තවමත් සැලකිය යුතු මට්ටමක අවදානම් තත්ත්වයක් පැවතීම හේතුවෙන්, දේශීය හා විදේශීය කම්පනයන්ට මුහුණ දීමට ඇති හැකියාව ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ. නැගී එන වෙළෙඳපොළ ආර්ථිකයන් මුහුණ පා ඇති දැඩි වෙ‍ළෙඳපොළ විචලනය හමුවේ, බලධාරින් විසින් දූරදර්ශී මුදල් ප්‍රතිපත්තිය සහ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව තවදුරටත් ප්‍රතිපත්තිමය ස්ථාවරයක් වශයෙන් ශක්තිමත් ව පවත්වා ගෙන තිබේ.

“උද්ධමන ඉලක්කකරණ වැඩසටහන හා ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලන සහ වගවීමේ රාමුව ශක්තිමත් කිරීම සඳහා සහාය වන මහ බැංකුවේ මුදල් නීති පනත සං‍ශෝධනය සඳහා බලධාරීන් විසින් ගනු ලැබූ උත්සාහය දූත මණ්ඩලයේ පැසසුමට ලක් වේ. සංචිත මට්ටම ඉහළ නංවා ගැනීම සඳහා මහ බැංකුව විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සහ විනිමය අනුපාතිකයේ නම්‍යශීලිත්වය පවත්වා ගැනීම සඳහා වන පැහැදිලි කැපවීම, බාහිර තරගකාරීත්වය වැඩිදියුණු කිරීම හා අහිතකර‍ ගෝලීය වෙ‍ළෙඳපොළ තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීම සඳහා තීරණාත්මක වේ.

“2019 වසර සඳහා ශක්තිමත් අයවැයක් ඉදිරිපත් කිරීම මගින් පැහැදිලි ව අර්ථ දක්වන ලද මැදිකාලීන ණය උපායමාර්ගය සහ ක්‍රමානුකූල ව අඩු වන පරිදි ණය මට්ටමක් පවත්වා ගැනීමට හා ආයෝජකයන්ගේ විශ්වාසය ශක්තිමත් කිරීමට දායක වන හිතකර රාජ්‍ය මූල්‍ය නීති මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රයත්න ශක්තිමත් විය යුතු වේ.  ඉලක්කගත මට්ටමට වඩා රජයේ ආදායම අඩුවීමත් සමඟ, බදු අනුකූලතාව ශක්තිමත් කිරීම සඳහා නවීකරණය කරන ලද ව්‍යාපාර ක්‍රියාවලි මගින් දායකත්වය ලබන නව දේශීය ආදායම් පනත සහ අනෙකුත් බදු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ස්ථාපනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ.  මනා ව හඳුනාගත් තෝරා ගැනීමේ නිර්ණායක මත පදනම් වූ සමාජ ආරක්ෂණ ජාලය යටතේ ‍වන අවදානමට බඳුන් වූ පවුල් පුළුල් ලෙස ආවරණය කිරීම ද ඇතුළත් තීරණාත්මක වියදම් අවශ්‍යතා සඳහා ඉහළ ආදායම් උත්පාදනය තුළින් රාජ්‍ය මූල්‍ය අවකාශය සලසා ගත හැකි යි.

“රජය සතු විශාල වාණිජ ව්‍යවසායයන්හි විනිවිදභාවය, වගවීම සහ පිරිවැය කාර්යක්ෂමතාව ඇති කිරීම කඩිනම් කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේ. මේ සම්බන්ධයෙන්, ඉන්ධන මිලකරණ ප්‍රතිසංස්කරණ සාර්ථක ව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දූත කණ්ඩායම තම ප්‍රශංසාව පළ කළ අතර, විදුලිබලය සඳහා ස්වයංක්‍රීය මිලකරණ යාන්ත්‍රණයක් හඳුන්වා දීම දිරිමත් කරන ලදී.

“වෙළඳාමට ඇති විවෘතභාවය සහ ආයෝජන ප්‍රවර්ධනය, දූෂණ විරෝධීබව, සමාජ ආරක්ෂණය වැඩිදියුණු කිරීම හා කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය දිරිගැන්වීම සඳහා ගනු ලබන තිරසාර ප්‍රයත්න තුළින්, ශ්‍රී ලංකාවට ශීඝ්‍ර සහ සාර්ව සහභාගීත්වයක් සහිත ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට උපකාරී වන පරිදි බලධාරීන් විසින් තම 2025 වසර සඳහා වූ දැක්ම ඉදිරියට ගෙන යා යුතු යි.”

දූත පිරිස මෙම සංචාරයේ දී අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය සමරවීර, මුදල් රාජ්‍ය අමාත්‍ය වික්‍රමරත්න, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති කුමාරස්වාමි යන මහත්වරුන් ද වෙනත් රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරික ප්‍රජාවේ, සිවිල් සමාජයේ හා ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ නියෝජිත‍යන් ද හමු විය.

 

Published Date: 

Friday, September 28, 2018