මූල්‍ය කාර්යසාධක බලකාය විසින් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය අනුමත කෙරෙයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ ප්‍රතිපත්ති සම්පාදකයා ලෙස කටයුතු කරනු ලබන මූල්‍ය කාර්යසාධක බලකාය (Financial Action Task Force – FATF) විසින් ශ්‍රී ලංකාව එහි ක්‍රියාකාරී සැලැස්ම සම්පූර්ණ කර ඇති බවට මූලික නිර්ණය ප්‍රකාශයට පත් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවත්වීමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අරඹා ඇති බවට සහ එම කටයුතු තිරසාර මට්ටමින් පවත්වා ගෙන යනු ලබන බවට ද, එ මෙන් ම අනාගතයේ දී ඒ සඳහා අවශ්‍ය දේශපාලන කැපවීම පවතින බවට ද තහවුරු කර ගැනීම සඳහා වූ එතැන් පරීක්ෂාවක් නිර්දේශ කරන ලදී.  2019 පෙබරවාරි 20 - 22 කාල පරිච්ඡේදය තුළ දී පැරීසියේ පවත්වනු ලැබූ මූල්‍ය කාර්යසාධක බලකා සැසි වාරයේ දී මෙම තීරණය ගන්නා ලදී. 

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ සඵලතාව (Effectiveness) සම්බන්ධ ව ලබා ඇති ප්‍රගතිය ඇගැයීම සඳහා මූල්‍ය කාර්යසාධක බලකායේ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ සමාලෝචන කණ්ඩායම (International Cooperation Review Group – ICRG) විසින් ශ්‍රී ලංකාව සමාලෝචනයට ලක් කරන බව 2016 ඔක්තෝබර් මාසයේ දී මූල්‍ය කාර්යසාධක බලකාය විසින් ශ්‍රී ලංකාවට දැනුම් දෙන ලදි.  සාකච්ඡා සහ ප්‍රගති සමාලෝචන වාර්තා කිහිපයකට පසු ව ජාත්‍යන්තර සහයෝගීතාව, අධීක්ෂණය, නෛතික පුද්ගලයන් සහ සැකසුම් සහ න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉලක්කගත මූල්‍ය සම්බාධක (උතුරු කොරියාව සහ ඉරානයට අදාළ) ආදී වශයෙන් වන කරුණු 4ක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවශ්‍ය ප්‍රගතිය පෙන්වා නොමැති බව මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් ශ්‍රී ලංකාවට දැනුම් දෙන ලදී.  එහි ප්‍රතිඵලයක් ලෙස, 2017 වසරේ ඔක්තෝබර් මස දී ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස්හි දී පැවති වාර්ෂික සමුළුවේ දී ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ ක්‍රමෝපායන්ගේ දුර්වලතා සහිත රටක් ලෙස මූල්‍ය කාර්යසාධක බලකායේ “අළු ලේඛනය” (Gray List) ලෙස හඳුන්වන අනුකූලතා ලේඛනයේ ලැයිස්තුගත  කරන ලද අතර, එම දුර්වලතා මග හරවා ගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුතු කාල රාමුවකට යටත් වූ ක්‍රියාකාරී සැලැස්මක් ශ්‍රී ලංකාවට ලබාදෙන ලදී. 

2017 නොවැම්බර් මාසයේ සිදු වූ මෙම ලැයිස්තුගත වීමෙන් පසු ව, මූල්‍ය බුද්ධි ඒකකය විසින් අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ එක් ව මූල්‍ය කාර්යසාධක බලකාය විසින් ලබා දුන් ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ඵලදායී පියවර රාශියක් ගන්නා ලදි.   ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ දී ලබා ගත් ප්‍රගතිය පිළිබඳ ව ශ්‍රී ලංකාව විසින් මූල්‍ය කාර්යසාධක බලකාය වෙත නිරන්තරයෙන් වාර්තා කරන ලදී.  මූල්‍ය කාර්ය සාධක බලකා සැසි වාරයේ දී ගනු ලැබූ තීරණය අනුව, පසු විපරම් කණ්ඩායමක් 2019 මැයි මාසය තුළ දී එතැන් පරීක්ෂාවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන අතර එහි දී ඔවුන් පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් ඇතුළු අදාළ සියලු ම පාර්ශ්වකරුවන් සහ ඉහළ ම දේශපාලන අධිකාරීන් හමු වී මූල්‍ය කාර්යසාධක බලකායේ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නැංවීම සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ ක්‍රියාවන් සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලන කැපවීම තහවුරු කර ගැනීමට නියමිත ය.  2019 ජූනි මාසයේ දී පැවැත්වීමට නියමිත මූල්‍ය කාර්යසාධක බලකා සැසි වාරයේ දී ඇගයුම්කරුවන්ගේ නිර්දේශ ඉදිරිපත් කිරීම සිදු කරනු ලබන අතර, එ මගින් ශ්‍රී ලංකාවට “අළු ලැයිස්තුවෙන්” ඉවත් වීමට හැකියාව ලැබෙනු ඇත. 

ශ්‍රී ලංකාව පිළිබඳ ව මූල්‍ය කාර්යසාධක බලකාය විසින් සිදු කරන ලද සම්පූර්ණ ප්‍රකාශය පහත පරිදි වේ.

2017 නොවැම්බර් මාසයේ සිට, ශ්‍රී ලංකාව විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ කටයුතුවල සඵලදායීත්වය ශක්තිමත් කිරීම සඳහා සහ අදාළ තාක්ෂණික දුර්වලතා මග හරවා ගැනීම සඳහා මූල්‍ය කාර්යසාධක බලකාය සහ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම සමඟ කටයුතු කිරීමට ඉහළ මට්ටමේ දේශපාලනික කැපවීමක් ඇති කරගන්නා ලදි.  මූල්‍ය කාර්යසාධක බලකාය විසින් ලබා දුන් ක්‍රියාකාරී සැලැස්ම සම්පූර්ණ කර ඇති බවට මූලික නිර්ණය ප්‍රකාශයට පත් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවත්විමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අරඹා ඇති බවට සහ එම කටයුතු තිරසාර මට්ටමින් පවත්වා ගෙන යනු ලබන බවට ද, එ මෙන් ම අනාගයේ දී ඒ සඳහා අවශ්‍ය දේශපාලන කැපවීම පවතින බවට ද තහවුරු කර ගැනීම සඳහා වූ එතැන් පරීක්ෂාවක් නිර්දේශ කරන ලදී.  විශේෂයෙන් ම, ශ්‍රී ලංකාව විසින් පහත දැක්වෙන මූලික ප්‍රතිසංස්කරණ සිදු කර ඇත.  (1) අන්‍යෝන්‍ය වශයෙන් නෛතික සහයෝගය සැපයිය හැකි බව සහතික කිරීම සඳහා සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනතට (MACMA) සංශෝධන ඉදිරිපත් කිරීම.  (2) නමෝද්දිෂ්ට මූල්‍ය නො වන ව්‍යාපාර සහ වෘත්තීන් වෙත, ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියාකිරීමේ රීති (CDD Rules) නිකුත් කිරීම, අවශ්‍ය අනෙකුත් උපදේශන නිකුත් කිරීම සහ සුපරීක්ෂණ ක්‍රියාවලිය හරහා මෙම රීති ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති ද යන්න තහවුරු කර ගැනීම. (3) අවදානම මත පදනම් වූ සුපරීක්ෂණයන් පුළුල් කිරීම සහ අවශ්‍ය පරිදි කඩිනම් සහ අදාළ නීතිමය පියවර සහ සම්බාධක තුළින් මූල්‍ය ආයතන, අවදානම ඉහළ නමොද්දිෂ්ට මූල්‍ය නො වන ව්‍යාපාර සම්බන්ධ ව කටයුතු කිරීම.  (4) නෛතික පුද්ගලයින් සම්බන්ධයෙන් වන ප්‍රතිලාභී හිමිකාරත්වය පිළිබඳ තොරතුරු නිසි බලධාරීන්ට කාලෝචිත අයුරින් ලබාගත හැකි බව පෙන්වීමට සිද්ධි අධ්‍යයනයන් සහ සංඛ්‍යානයන් සැපයීම  (5) භාර ආඥාපනත සංශෝධනය කිරීම සහ එය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බව සනාථ කිරීම  (6) ඉරානයට අදාළ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ඉලක්කගත මූල්‍ය සම්බාධක තන්ත්‍රයක් පිහිටුවීම, එම ක්‍රියාවලිය ආරම්භ කර ඇති බව සනාථ කිරීම සහ උතුරු කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී ජනතා ජනරජයට අදාළ එක්සත් ජාතීන්ගේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බව සනාථ කිරීම. 

 

Published Date: 

Monday, February 25, 2019