පවතින සුවිශේෂී සාර්ව ආර්ථික තත්ත්වයන් හමුවේ බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන් සඳහා බලපත්‍රලාභී බැංකු විසින් සහන සැලසීම

කොවිඩ්-19 වසංගත තත්ත්වයේ ව්‍යාප්තියත් සමඟ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020 මාර්තු මාසයේ සිට පීඩාවට පත් ණය ගනුදෙනුකරුවන් වෙත සහන සැලසීම සඳහා යෝජනා ක්‍රම කිහිපයක් ම හඳුන්වා දුන් අතර, එයට ණය සහන කාලයක් ලබා දීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම/ප්‍රතිලේඛනගත කිරීම, ණය ආපසු අයකර ගැනීමේ ක්‍රියාමාර්ග අත්හිටුවීම, අඩු වියදම් කාරක ප්‍රාග්ධන ණය ලබා දීම සහ ඇතැම් බැංකු ගනුදෙනු සඳහා අය කල ගාස්තු ඉවත් කිරීම ආදිය ඇතුළත් වේ. මෙම සහන සඳහා පුද්ගලික අංශයේ සේවකයින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SMEs) සහ සංචාරක, ප්‍රවාහන, නිෂ්පාදන, සේවා, කෘෂිකර්මය, ඉදිකිරීම්, ඇඟලුම්, තොරතුරු තාක්ෂණ සහ ඒ ආශ්‍රිත සැපයුම් සේවාවන්හි නිරත අනෙකුත් ව්‍යාපාර හා පුද්ගලයින් ඇතුලත් විය. කෙසේ වෙතත්, කොවිඩ්-19 නිසා බලපෑමට ලක්වූ ණය ගනුදෙනුකරුවන් සඳහා ලබා දී තිබූ මෙම සහන කාලයන්ගේ අවසන් අදියර 2021.12.31 දිනෙන් අවසන් වූ අතර සංචාරක අංශයට ලබාදුන් ණය සහන කාලයේ අවසන් අදියර 2022.06.30 දිනෙන් අවසන් විය. මේ අතර, ජාතික ආර්ථික වර්ධනය ට දායක විය හැකි, ශක්‍යතාවයක් සහිත ව්‍යාපාර නැවත නගාසිටුවීම සඳහා කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත් අඩු ක්‍රියාකාරී සහ අක්‍රීය ණය ගනුදෙනුකරුවන් හඳුනාගෙන ඔවුන් ට සහාය වීමෙන් , ණය සහන කාලයන් ක්‍රමානුකූලව අවසන් කිරීම සඳහා බලපත්‍රලාභී බැංකු තුල පශ්චාත් කොවිඩ්-19 පුනර්ජීවන ඒකක පිහිටුවන ලෙස ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු වෙත උපදෙස් ලබා දී ඇත.

පවතින සාර්ව ආර්ථික අභියෝගයන් සහ අමතර සහන සපයන ලෙස රාජ්‍ය ආයතන ඇතුළු පාර්ශවකරුවන් රැසක් විසින් කරන ලද ඉල්ලීම් එනම්, සංචාරක ක්ෂේත්‍රය ට සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ට සහන සැපයීම දීර්ඝ කරන ලෙස ට වූ කැබිනට් මණ්ඩල තීරණ සැලකිල්ලට ගනිමින්, වත්මන් සාර්ව ආර්ථික තත්ත්වයන් සහ/හෝ කොවිඩ් -19 වසංගතය හේතුවෙන් සිය ආදායමට හෝ ව්‍යාපාරයන්ට අහිතකර බලපෑම් ඇති වී ඇති ණය ගනුදෙනුකරුවන් වෙත, බැංකු අංශයේ ස්ථායිතාව කෙරෙහි අනවශ්‍ය ආතතියක් ඇති නොවන පරිදි, මාස හයක කාලයක් සඳහා සුදුසු සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී බැංකු වෙතින් ඉල්ලා ඇත. මෙම සහනයන් ඒ ඒ පුද්ගලයන්ගේ අනාගත ණය ආපසු ආපසු ගෙවීමේ හැකියාව සහ ව්‍යාපාර/ව්‍යාපෘතිවල ශක්‍යතාව මත පදනම්ව අවස්ථානුකුලව ලබා දෙනු ඇති අතර, එකී සහනයන් ගේ ප්‍රධාන අංගයන් පහත සාරාංශ ගත කර ඇත.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Wednesday, July 20, 2022