පෙර දැක්ම 2018 - 2018 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති

2017 වසර අභියෝගාත්මක වසරක් විය. අයහපත් කාලගුණික තත්ත්ව සමස්ත ආර්ථිකය කෙරෙහි බලපෑම් ඇති කළ අතර පැවැති නියං සහ ගංවතුර තත්ත්වයන්ගෙන් කෘෂිකාර්මික කටයුතු සහ කෘෂි නිෂ්පාදිත පදනම් කර ගත් කර්මාන්ත කටයුතුවලට බාධා ඇති විය. අහිතකර කාලගුණික තත්ත්වයන්ගෙන් ඇති වූ බලපෑම ආර්ථිකයේ අනෙකුත් අංශ කෙරෙහි ද අයහපත් ලෙස බලපෑ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2017 වසරේ ආර්ථික වර්ධනය වසර ආරම්භයේ දී අප පුරෝකථනය කළ මට්ටමට වඩා පහළ සහ අඩු අගයක් ගනු ඇතැ යි අපේක්ෂා කෙරේ. සාර්ව ආර්ථික ස්ථායීතාව නැවත ළඟා කර ගැනීමේ අරමුණෙන් ක්‍රියාත්මක කළ මහ බැංකුවේ දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය මෙන් ම රජය මගින් ක්‍රියාත්මක කිරීමට යෙදුණු සාපේක්ෂ වශයෙන් දැඩි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරය රාජ්‍ය සහ පෞද්ගලික ආයෝජන වියදම් කෙරෙහි යම් තාක් දුරට බලපෑ අතර එය ද ආර්ථික වර්ධනය මන්දගාමී වීමට හේතු විය. උද්ධමන අපේක්ෂා පාලනය කිරීමට අප දරන උත්සාහයන් අභියෝගයට ලක් කරමින් කාලගුණික තත්ත්වයන්ගේ බලපෑම මගින් දේශීය සැපයුම්වලට ඇති වූ බාධා හේතුවෙන් ආහාර මිල ඉහළ යෑම, වක්‍ර බදු සඳහා වූ සංශෝධන සහ  ආනයනික වෙළෙඳ භාණ්ඩවල මිල ඉහළ යෑම හේතු කොට ගෙන පාරිභෝගික මිල උද්ධමනය ඉහළ ගියේ ය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කරන්නට යෙදුණු දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය හමුවේ වුව ද, මුදල් සමස්තයන්හි වර්ධනය 2017 වසරේ වැඩි කාලයක දී ඉහළ මට්ටමක පැවැතුණු අතර මුදල් සමස්තයන්හි වර්ධනය වසර අවසානයේ දී අපේක්ෂා කළ මට්ටම දක්වා අඩු විය. ප්‍රධාන අපනයන වෙළෙඳපොළවල වඩා හිතකර වර්ධන අපේක්ෂා සහ මහ බැංකුවේ නම්‍යශීලී විනිමය අනුපාතික ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පත් වීමේ සලකුණු පෙන්නුම් කළ ද, අයහපත් කාලගුණික තත්ත්ව මූලික කොට ගෙන ආනයන වියදම ඉහළ යෑම හේතුවෙන් වෙළෙඳ ගිණුමේ ශේෂය කෙරෙහි අයහපත් බලපෑම් එල්ල විය. සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ පහත වැටීම නිසා විදේශීය ජංගම ගිණුමේ වෙළෙඳ හිඟය පියවීමට ප්‍රේෂණ දක්වන දායකත්වය අඩු විය. ආදායම් රැස් කිරීමේ සුභවාදී වර්ධනයක් රාජ්‍ය මූල්‍ය අංශයෙන් වාර්තා කෙරුණ ද, කාලගුණික බලපෑම් මගින් ඇති කෙ‍රුණ රාජ්‍ය මූල්‍ය වියදම් සහ ඉහළ පොලී ගෙවීම්වල ප්‍රතිඵලයක් ලෙස 2017 වසරේ අයවැය හිඟය අපේක්ෂා කළ මට්ටමට වඩා යම් ප්‍රමාණයකින් ඉහළ යා හැකි ය. මෙ මගින්, මුදල් ප්‍රතිපත්තිය සහ විනිමය අනුපාතික ප්‍රතිපත්තිය පවත්වා ගෙන යෑම සංකීර්ණ කෙරෙන අතර අපේක්ෂිත රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය කෙරෙහි අහිතකර බලපෑම් ඇති කෙරෙනු ඇත. 

සම්පූර්ණ ලිපිය

 

Published Date: 

Wednesday, January 3, 2018