කොවිඩ්-19 නිසා බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින් සඳහා ණය සහන කාලයක් ලබාදීම

කොවිඩ්-19 ව්‍යසනයේ දෙවන ව්‍යාප්තිය නිසා ව්‍යාපාර හා පුද්ගලයින් විසින් මුහුණපා ඇති ගැටළු සලකා බලමින්, බලපත්‍රලාභී බැංකු විසින් කොවිඩ්-19 ව්‍යසනය මගින් බලපෑමට ලක්වී ඇති පුද්ගලයන් හා ව්‍යාපාර වෙත ලබා දී ඇති ණය සහනයෝජනා ක්‍රමය 2020 ඔක්තෝබර් 01 දින සිට තවත් මාස හයක කාලයකින් දීර්ඝ කරන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු වෙත නියෝග කර සිටී. සුදුසුකම් ලබන ගනුදෙනුකරුවන් විසින් ණය සහන කාලය දීර්ඝ කරගැනීම සඳහා වන ඉල්ලීම් 2020 නොවැම්බර් 30 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කල යුතුවේ. මෙම යෝජනාක්‍රමයේ ප්‍රධාන අංගයන් පහත පරිදි වේ.

  1. කාල සීමාව - සුදුසුකම් ලබන ගනුදෙනුකරුවන් හට ඔවුන් විසින් මුහුණපා ඇති මූල්‍ය දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් බැංකුවේ අභ්‍යන්තර මාර්ගෝපදේශ වලට අනුකූලව මාස 6ක් දක්වා හෝ ඊට අඩු කාල සීමාවක් සඳහා ණය සහන කාලසීමාවක් ලබා දිය යුතුය. මෙම ණය සහන කාලය මුල් ණය මුදල සහ පොලී යන දෙකොටස සඳහා ම පිරිනැමිය යුතුය.
  2. සුදුසුකම් ලබන ගනුදෙනුකරුවන් - කොවිඩ්-19 ව්‍යසනයේ ව්‍යාප්තිය නිසා මූල්‍ය දුෂ්කරතා වලට මුහුණපා ඇති හඳුනාගත් ව්‍යාපාර ක්ෂේත්‍රයන්හි නියුතු ව්‍යාපාර, ව්‍යාපාරිකයන් සහ පුද්ගලයන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ස්වයං රැකියා ව්‍යාපාර සහ විදේශ විනිමය උපයන්නන්.
  3. සුදුසුකම් ලබන ණය පහසුකම් - 2020 ඔක්තෝබර් 01 දින වන විට සක්‍රිය කණ්ඩයේ පැවති, රුපියල් හා විදේශ මුදල් කාලීන ණය, කල්බදු (ලීසිං) පහසුකම්, උකස්, අයිරා, වෙළඳ මූල්‍යන ඇතුළු අනෙකුත් ණය පහසුකම් (සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන යටතේ ලබා දුන් ණය පහසුකම් හැර).
  4. ණය සහන යෝජනාක්‍රමයේ සැකැස්ම

(අ) ණය සහන කාලය තුලදී අයවීමට නියමිත මුල් ණය මුදල සහ පොලිය කාලීන ණයකට හරවනු ඇත.

(ආ) මෙලෙස හරවන ලද රුපියල් ණය සඳහා බැංකු විසින් ණය සහන කාලසීමාව අවසන් වූ වහාම පැවති 364-දින භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි අනුපාතිකයට සියයට එකක් එකතු කල වාර්ෂික පොලී අනුපාතයක් (364-days Treasury Bills auction rate plus 1 per cent per annum) අයකල හැක.

(ඇ) විදේශ මුදල් ණය සඳහා දැනට පවතින වෙළඳපොළ පොලී අනුපාතයට වඩා අඩු පොලී අනුපාතයක් හෝ ගිවිසුම්ගත පොලිය යන විකල්ප දෙකෙන් අඩු අගය හරවන ලද ණය පහසුකම සඳහා අයකල යුතුය.

(ඈ) අයිරා සඳහා අදාල ණය සහන කාල සීමාව තුලදී අයවීමට නියමිත පොලී කාලීන ණයකට හැරවීමට බලපත්‍රලාභී බැංකු කටයුතු කල යුතු අතර, ඒ සඳහා අයකල හැකි උපරිම වාර්ෂික පොලිය සියයට 4ක් නොඉක්මවිය යුතුය.

(ඉ) උකස් පහසුකම් සම්බන්ධයෙන්, ණය සහන කාලය තුලදී අයවීමට නියමිතව ඇති දිනයන් 2021 අප්‍රේල් 01 දක්වා දීර්ඝ කල යුතුය.

(ඊ) ණය කාඩ් පත් සම්බන්ධයෙන් සුදුසුකම් ලබන ගනුදෙනුකරුවන් විසින් කරනු ලබන ඉල්ලීම් සලකා බැලීම සඳහා බලපත්‍රලාභී බැංකු විසින් සුදුසු ව්‍යාපාරික තීරණ ගත යුතුය.

(උ) 2020 ඔක්තෝබර් 01 දින වන විට එකතුවී ඇති සහ නොපියවා ඇති දඩ පොලී ඇත්නම් ඒවා කපාහැරීමට බලපත්‍රලාභී බැංකු විසින් කටයුතු කල යුතුය.

මහජනතාවට ඉහත ණය සහන යෝජනාක්‍රමය පිළිබඳ අමතර තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය වේ නම් ඒ සඳහා තම තමන්ගේ බැංකු හා සම්බන්ධ වන ලෙසටත් දැනට ඉහළ යන කොවිඩ්-19 ව්‍යසනයේ ව්‍යාප්තිය නිසා සිය බැංකු ණය පහසුකම් ආපසු ගෙවීමේ දී අපහසුතා වලට මුහුණපා ඇති ගනුදෙනුකරුවන් හට සිය අයදුම්පත් 2020 නොවැම්බර් 30 වන දින හෝ ඊට පෙර අදාළ බැංකු වෙත යොමු කරන ලෙසටත් මෙයින් දැනුම් දෙනු ලැබේ. පවතින වාතාවරණය හමුවේ ගනුදෙනුකරුවන් බැංකු ශාඛා වෙත එක් රැස්වීම අවම කිරීමේ අරමුණින්, අපහසුතා වලට මුහුණපා ඇති ගනුදෙනුකරුවන් හට ණය සහන ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීම පහසුවන ලෙස, අදාළ තොරතුරු විද්‍යුත් තැපැල් සහ කෙටි පණිවුඩ ඇතුළු මුද්‍රිත/විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සරළ ආකෘතියකින් ගනුදෙනුකරුවන් වෙත ලබා දීමට බලපත්‍රලාභී බැංකු කටයුතු කල යුතුය.

මේ සම්බන්ධයෙන් බලපත්‍රලාභී බැංකු වෙත නිකුත් කරන ලද චක්‍රලේඛය පහත සබැඳිය ඔස්සේ ලබා ගත හැක.
https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/laws/cdg/b...

Published Date: 

Wednesday, November 11, 2020