කොරෝනා ව්‍යසනය (COVID-19) මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයන් සඳහා බැංකු සහන පහසු කිරීම උදෙසා ශ්‍රී ලංකා මහ බැංකුව සුවිශේෂී නියාමන ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාවට නංවයි

කොරෝනා ව්‍යසනය හෙවත් COVID–19 මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයින් සඳහා සහන සැලසීම උදෙසා අවශ්‍ය නම්‍යශීලීත්වය බැංකු ක්ෂේත්‍රයට ලබාදීමේ  අරමුණින් ‍ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල්  මණ්ඩලය බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සදහා සුවිශේෂී නියාමන ක්‍රියාමාර්ග රැසක් හඳුන්වා දීමට තීරණය කර ඇත.  මෙම ක්‍රියාමාර්ග හඳුන්වා දීමේ දී මුදල් මණ්ඩලය විසින් විශේෂයෙන් බැංකු විසින් දැනටමත් රැස් කර ගෙන ඇති ප්‍රාග්ධන අතිරික්තයන් ඇතුළු ව බැංකු ක්ෂේත්‍රයේ සමස්ත ස්ථායිතාව සැලකිල්ලට ගත් අතර දැනට පවතින හා ඉදිරියේ දී අපේක්ෂිත ද්‍රවශීලතා මට්ටම්, අසාමාන්‍ය ලෙස ආර්ථික කටයුතු බිඳ වැටීම සහ බහුතරයක් ගනුදෙනුකරුවන් හට ඔවුන්ගේ ණය පහසුකම් නිසි පරිදි ගෙවා දැමීමට නො හැකි වීම නිසා ඉදිරියේ දී අක්‍රීය ණය ඉහළ යාමට ඇති ප්‍රවණතාව වැනි කරුණු පිළිබඳ ව අවධානය යොමු කරන ලදී.

ඒ අනුව, කොවිඩ්-19 මගින් බලපෑමට පත් ව්‍යාපාර හා පුද්ගලයන්හට සහන සැලසීම සඳහා බලපත්‍රලාභී බැංකු වෙත වැඩිදුරටත් ඉඩකඩ සපයා දීමේ අරමුණින් පහත සඳහන් සුවිශේෂ ක්‍රියාමාර්ග කඩිනමින් හඳුන්වා දීමට මුදල් මණ්ඩලය  තීරණය කර ඇත.

  1. දේශීය මූල්‍ය පද්ධතියේ වැඩි වැදගත්කමක් සහිත බැංකු (D-SIBs)සහ එසේ නො වන බැංකු සඳහා පිළිවෙලින් පදනම් අංක 100 සහ  50 බැගින් තම ප්‍රාග්ධනය සුරැකීම සඳහා ඇති අතිරික්තයන් පහත දැමීමට අවස්ථාව සලසා දීම තුළින් ආර්ථිකයට සුමට ව ණය  ගලා යාමට පහසුකම් සැලසීම සහ කොරෝනා ව්‍යසනය මගින් බලපෑමට ලක්වූ ණය ගැනුම් කරුවන් හට සිය ව්‍යාපාර කටයුතු නුදුරු අනාගතය තුළ අඛණ්ඩ ව පවත්වාගෙන යාමේ හැකියාව ලබාදීම
  2. යම් ගනුදෙනුකරුවෙකුගේ මුළු  අක්‍රිය ණය පහසුකම් ප්‍රමාණය, ඔහු වෙත ලබා දී ඇති මුළු ණය පහසුකම් ප්‍රමාණයෙන් 30% ඉක්මවන විට එම ගනුදෙනුකරු වෙත ලබා දී ඇති මුළු ණය ප්‍රමාණය ම අක්‍රිය ගණයේ ලා සැලකීමට ඇති නියාමන අවශ්‍යතාව ඉවත් කිරීම
  3. කිසියම් ණයක් විදේශ මුදලින් පියවා ගැනීමට ඇති හැකියාවක් නොමැති විටෙක, අවසාන විකල්පය වශයෙන්, බැංකු විසින් නිශ්චිත කොන්දේසි සපුරාලීම තහවුරු කිරීමට යටත් ව, එම ණය රුපියල්වලින් පියවා ගැනීමට බැංකු වෙත අවසර ලබා දීම
  4. වෙනත් කිසිදු සහනයක් සඳහා හිමිකම් නො ලබන ගනුදෙනුකරුවන් සඳහා මාර්තු මස තුළ දී අය වීමට නියමිත ඔවුන්ගේ ණය හා අත්තිකාරම් වාරික සඳහා දින 60ක කල් දිගුවක් ලබා දීමට බලපත්‍රලාභී බැංකු වෙත අවසර දී ඇති අතර අදාළ දින 60 අවසන් වන තුරු එම ණය පහසුකම්, ගෙවීම පැහැර හැර ඇති සේ නොසැලකිය යුතු වීම
  5. කොරෝනා ව්‍යසනය (කොවිඩ්-19) නිසා ගනුදෙනුකරුවන් මුහුණ පා ඇති ගැටළු හේතුවෙන් 2020.03.16 සිට 2020.06.30 දක්වා කාල සීමාව තුළ දී ණය ගිවිසුම් සහ ආපසු ගෙවීමේ කාල සීමා සඳහා කරනු ලබන සියළු වෙනස් කිරීම් ණය සහ අත්තිකාරම් වර්ගීකරණය සහ  ණය හානිකරණය ගණනයේ දී 'ප්‍රතිව්‍යුහගත' ලෙස සැලකීම වෙනුවට 'සංශෝධන' ලෙස සැලකීමට බැංකු වෙත අවසර දීම
  6. 2020 වසර අවසානය වන විට වැඩි කළ ප්‍රාග්ධන අවශ්‍යතාවන් සපුරා ගත යුතු ව තිබූ බැංකු හට එකී අවශ්‍යතා සපුරාගැනීමේ අවසාන දිනය 2022 වසර අවසානය තෙක් දීර්ඝ කිරීම
  7. නියාමනයේ දී හඳුනා ගත් සැලකිය යුතු කරණු නිවැරදි කිරීම සඳහා ලබා දී ඇති කාල සීමාවන් බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව හා සාකච්ඡා කර ඒවායේ, වැදගත්කම/බැරෑරුම්කම සලකා බලා අවශ්‍ය නම් නැවත සකස් කිරීමට අවසර දීම. නියාමනයේදී  හඳුනාගත් කරුණු /සොයා ගැනීම් සඳහා නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමේ කාල කාලසීමාව 2020 මැයි 30 දක්වා ඇති  බැංකු සඳහා  අමතර මාස 3 ක කාලයක් ලබාදීම
  8. යළි දැනුම්දෙන තුරු , බලපත්‍රලාභී බැංකු විසින් බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කාලීන ව සිදු කළ යුතු ව්‍යවස්ථාපිත වාර්තාකරණයන් සඳහා නියමිත කාල සීමාව සති දෙකකින් දීර්ඝ කිරීම සහ කාර්තුමය මූල්‍ය වාර්තා ප්‍රකාශනය සඳහා නියමිත කාල සීමාව මසකින් දීර්ඝ කිරීම

බැංකු වෙත ලබා දුන් මෙම සහනයන් තම ගනුදෙනුකරුවන්ගේ හා සමස්ත ආර්ථිකයේ ම යහපත උදෙසා යොදා ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සියලු ම බලපත්‍රලාභී බැංකු වෙතින් ඉල්ලා සිටින අතර එමගින් බැංකු ක්ෂේත්‍රයට වඩාත් ශක්තිමත් ලෙස අභියෝගවලට මුහුණ දීමට හැකියාව ලැබෙනු ඇත.

Published Date: 

Monday, March 30, 2020