ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ණය සහන ලබාදීම

රජය විසින් දැනටමත් නිවේදනය කර ඇති සහන සහ දිරිගැන්වීම් වලට අනුපූරක ලෙස, සුදුසුකම් ලත් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය ගැණුම්කරුවන් සඳහා විශේෂ ණය සහන යෝජනා ක්‍රමයක් ලබාදීමට බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල (මින් ඉදිරියට බලපත්‍රලාභී බැංකු ලෙස හැඳින්වේ) එකඟවී ඇත.

ඒ අනුව, මෙම යෝජනා ක්‍රමය සියලුම බලපත්‍රලාභී බැංකු අතර ඒකාකාරී ලෙස ක්‍රියාවට නැංවීම සඳහා මාර්ගෝපදේශයන් ඇතුලත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. බැංකුවලට නිකුත් කර ඇති චක්‍රලේඛයට පහත පරිදි පිවිසිය හැකි අතර, යෝජනා ක්‍රමයෙහි ප්‍රධාන ලක්ෂණ පහත දක්වා ඇත.

 

පොදු කොන්දේසි සහ නියමයන්

    • මෙම යෝජනා ක්‍රමය 2020.01.01 සිට 2020.12.31 දක්වා කාලය තුල ක්‍රියාත්මක වේ.
    • සුදුසුකම්ලත් ණය ගැණුම්කරුවන්
      • බලපත්‍රලාභී බැංකු වලින් ණය ලබගෙන ඇති, 2019.12.31 දිනෙන් අවසන් වසර සඳහා රුපියල් මිලියන 16 සිට 750 දක්වා වාර්ෂික පිරිවැටුමක් සහිත, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් මෙම යෝජනා ක්‍රමයට සහභාගී වීම සඳහා සුදුසුකම් ලබයි. එසේ වුවද, වාර්ෂික පිරිවැටුම සම්බන්ධයෙන් දක්වා ඇති පහළ සීමාව, එනම් රුපියල් මිලියන 16ක සීමාව, 2019.12.31 දිනට අක්‍රීය ණය කාණ්ඩයෙහි සිටින සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා අදාළ නොවේ.
      • නිෂ්පාදන, සේවා, කෘෂිකර්ම (සැකසුම් ව්‍යාපාර ද ඇතුලත්ව) සහ ඉදිකිරීම් අංශවල නිරතව සිටින සහ ව්‍යාපාර ආශ්‍රිත කාලීන ණය, කල්බදු පහසුකම්, අයිරා ණය පහසුකම් සහ වෙළඳ ණය පහසුකම් ශ්‍රි ලංකා රුපියල් වලින් ලබාගෙන ඇති, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන්, කොන්දේසි වලට යටත්ව , මෙම යෝජනා ක්‍රමයට සහභාගී වීමට සුදුසුකම් ලබයි. එසේ වුවද, 2019.12.31 දිනට අක්‍රීය ණය කාණ්ඩයෙහි සිටින සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් යෝජනා ක්‍රමයට සම්බන්ධ කර ගැනීමේදී පමණක්, යෝජනා ක්‍රමය යටතට ගැනෙන ව්‍යාපාර අංශ වලට අගය එකතු කල ව්‍යාපාර සහ වෙළඳාම්ද ඇතුලත් වේ.

    • මෙම යෝජනා ක්‍රමයට ඇතුලත්වීම සඳහා, සුදුසුකම්ලත් ණය ගැණුම්කරුවන් විසින් ලිඛිත ඉල්ලීමක් 2020.02.10 දින හෝ ඊට ප්‍රථම අදාළ බලපත්‍රලාභී බැංකුවට ඉදිරිපත් කල යුතුය.
    • මෙම යෝජනා ක්‍රමයට සහභාගි වන්නන් විසින් යෝජනා ක්‍රමය යටතේ සැලකිල්ලට ගනු ලබන ණය පහසුකම් සඳහා ගෙවිය යුතු ණය පොලිය අඛණ්ඩව ගෙවිය යුතුය. ණය පොලිය ආපසු ගෙවීමට අපොහොසත් වන පුද්ගලයින් තව දුරටත් මෙම යෝජනා ක්‍රමයෙහි ප්‍රතිලාභ භුක්ති විඳීමට සුදුසුකම් නොලබයි.

 

සක්‍රීය ණය

    • කිසියම් බලපත්‍රලාභී බැංකුවකින්, 2019.12.31 දින වනවිට ලබාගෙන ඇති මුළු ණය සහ අත්තිකාරම් සඳහා හිඟ මුදල, රුපියල් මිලියන 300 නොඉක්මවන, සුදුසුකම්ලත් ණය ගැණුම්කරුවන්හට අදාල බැංකුවෙන් 2020.01.31 - 2020.12.31 කාලය සඳහා ප්‍රාග්ධන සහන කාලයක් ලබා ගත හැක.
    • 2020.03.31 දක්වා කාලය තුළ ගෙවා දැමීමට නියමිත හෝ කල්පිරීම සිදුවන හෝ නැවත සමාලෝචනය සඳහා සලකා බැලෙන, ස්ථාවර අයිරා ණය පහසුකම්, අදාළ බලපත්‍රලාභී බැංකුව විසින් 2020.06.30 දක්වා දීර්ඝ කරනු ලැබේ. 2019.12.31 දිනට පැවති තාවකාලික අයිරා ණය පහසුකම් සම්බන්ධයෙන්, එම තාවකාලික අයිරා ණය සීමාවන් කල්පිරීම මාස 2කින් දිගු කෙරේ.
    • 2020.03.31 දක්වා කාලය තුළ ගෙවා දැමීමට නියමිත හෝ කල්පිරීම සිදුවන හෝ නැවත සමාලෝචනය සඳහා සලකා බැලෙන, සුදුසුකම්ලත් වෙළඳ ණය පහසුකම් දින 30කින් දීර්ඝ කරනු ලැබේ.
    • බලපත්‍රලාභී බැංකුවකට රුපියල් මිලියන 300 නොඉක්මවන සහ වසරක උපරිම ණය සහන කාලයක් සහිත අතිරේක ණයක් හෝ නව ණය පහසුකමක්, ආයෝජන හෝ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා, කොන්දේසි වලට යටත්ව ප්‍රදානය කළ හැක. ඒ සඳහා, ණය ගැණුම්කරු විසින් විශ්වසනීය ව්‍යාපාර සැලසුමක් ඉදිරිපත් කළ යුතුය.
    • ව්‍යාපාර කටයුතු ප්‍රසාරණය කිරීම සඳහා ලබාදෙන, ආයෝජන අවශ්‍යතා ණය මුදල, බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතය + 1.5%ට සමාන පොලී අනුපාතයක් යටතේ වසර 05ක් තුළ ගෙවා අවසන් කල යුතුය. කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා පිරිනමන ණය මුදල, බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතයට සමාන පොලී අනුපාතයක් යටතේ වසර 02ක් තුළ ගෙවා අවසන්කල යුතුය.
    • වෙනත් සහන යෝජනාක්‍රම යටතේ ලබාදී ඇති, 2020.12.31 දිනට පෙර කල්පිරෙන සහන ඇත්නම්, එවැනි සහන 2020.12.31 දක්වා දීර්ඝ කරනු ලැබේ. එසේ වුවද, එවැනි ණය ගැණුම්කරුවන් මෙම යෝජනා ක්‍රමය යටතේ පනවා ඇති අවශ්‍යතාවයන්ට අනුකූලව කටයුතු කල යුතුය.
    • ලබාගෙන ඇති මුළු ණය පහසුකම් වල වටිනාකම රුපියල් මිලියන 300 ඉක්මවන ණය ගැණුම්කරුවන්ට සහන සැලසීම සම්බන්ධයෙන්, බලපත්‍රලාභී බැංකු විසින් අවස්ථානුකූලව සලකා බලනු ඇත.

 

අක්‍රීය ණය

    • 2019.12.31 දින වන විට අක්‍රීය ණය කාණ්ඩයෙහි සිටින සුදුසුකම් ලත් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන්, පහත දක්වා ඇති සහන ලබා ගැනීමට සුදුසුකම් ලබයි.
    • අක්‍රීය ණය කාණ්ඩයෙහි තිබෙන ණය සහ අත්තිකාරම් සම්බන්ධයෙන් ආපසු නොගෙවා, එකතුවී ඇති ණය පොලියෙහි අඩංගු දඩ පොලී ප්‍රමාණය, බලපත්‍රලාභී බැංකු විසින් කපා හරිනු ඇත.
    • ණය සහ අත්තිකාරම් ප්‍රතිලේඛණගත කිරීම පහත පරිදි සිදුකෙරේ∶
      • ණය ගැනුම්කරු විසින් මූලික ප්‍රාග්ධන ප්‍රමාණයෙන් 50%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ගෙවා ඇති අවස්ථාවන්හි දී, බලපත්‍රලාභී බැංකු විසින් මෙම යෝජනා ක්‍රමය සඳහා සලකා බලනු ලබන දිනය දක්වා ගෙවීම පැහැර හැර ඇති වාරික වල එකතු වී ඇති, නොගෙවූ පොලියෙන් 50%ක් ආපසු ගෙවීම කල් දමනු ලැබේ. හිඟ ප්‍රාග්ධනය, ගෙවීම පැහැර හැර ඇති වාරිකවලට අදාළ නොගෙවූ පොලී ශේෂය සහ අනාගතයෙහි ගෙවිය යුතු පොලිය ප්‍රතිලේඛණගත කරනු ලැබේ.

      • ණය ගැනුම්කරු විසින් මූලික ප්‍රාග්ධන ප්‍රමාණයෙන් 50%කට අඩු ප්‍රමාණයක් ගෙවා ඇති අවස්ථාවන්හි දී, බලපත්‍රලාභී බැංකු විසින් මෙම යෝජනා ක්‍රමය සඳහා සලකා බලනු ලබන දිනය දක්වා ගෙවීම පැහැර හැර ඇති වාරික වල එකතු වී ඇති, නොගෙවූ පොලියෙන් 25%ක් ආපසු ගෙවීම කල් දමනු ලැබේ. හිඟ ප්‍රාග්ධනය, ගෙවීම පැහැර හැර ඇති වාරිකවලට අදාළ නොගෙවූ පොලී ශේෂය සහ අනාගතයෙහි ගෙවිය යුතු පොලිය ප්‍රතිලේඛණගත කරනු ලැබේ.

      • ප්‍රතිලේඛණගත කරනු ලබන ප්‍රාග්ධනය සහ පොලිය, මුල් ණය මුදලෙහි ඉතිරි වාරික සංඛ්‍යාව මෙන් දෙගුණයක කාල සීමාවක් නොඉක්මවන කාලයක් තුල ගෙවා නිමකල යුතුය.

      • මේ සඳහා වසරක සහන කාලයක් ලබාදිය හැක. එසේ වුවද, ණය ගැනුම්කරු ණය පොලිය නිසි පරිදි ගෙවා නිම කල යුතුය.

    • නව කාරක ප්‍රාග්ධන ණය: අක්‍රීය ණය කාණ්ඩයේ සිටින, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හට ව්‍යාපාර යලි පණ ගැන්වීම සඳහා, ව්‍යාපාරයෙහි මාස තුනක කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය, කොන්දේසි වලට යටත්ව, මාස 06 ක් උපරිම කාල සීමාවක් සහිත ණයක් ලෙස, නිත්‍ය ණය පහසුකම් අනුපාතය + 2% නොඉක්මවන පොලී අනුපාතයක් යටතේ ලබාදිය හැක.
    • බලපත්‍රලාභී බැංකු විසින් වත්කම් වෙන්දේසි කිරීම 2020.12.31 දින දක්වා කල් දමනු ලබන අතර, යෝජනා ක්‍රමයට සම්බන්ධ වන, අක්‍රීය ණය කාණ්ඩයේ සිටින ණය ගැනුම්කරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අත්හිටුවනු ලැබේ.
    • අසතුටුදායක ණය තොරතුරු කාර්යංශ වාර්තා පමණක් සැලකිල්ලට ගෙන ණය ලබාදීම් ප්‍රතික්ෂේප කිරීම වැලැක්වීම සඳහා සුදුසු ක්‍රමවේදයක්, බලපත්‍රලාභී බැංකු විසින් පවත්වාගත යුතු යැයි අපේක්ෂා කෙරේ.
    • ණය ඇප ආවරණ යෝජනා ක්‍රමය: අමතර ණය හා අත්තිකාරම් හේතුවෙන් ඇතිවන ණය අවදානම මගහරවා ගැනීම සඳහා, බලපත්‍රලාභී බැංකු විසින් ප්‍රදානය කරනු ලබන ප්‍රාග්ධන මුදලෙන් 75%ක් දක්වා ආවරණය කරනු ලබන, ණය ඇප ආවරණ යෝජනා ක්‍රමයක් ශ්‍රී ලංකා රජය හා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළියෙල කරනු ඇත.

 

Published Date: 

Monday, February 10, 2020